හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්
වැස්සට තෙමුණම හෙම්බිරිස්සාව හැදෙනවද? හෙම්බිරිස්සාව හැදුනම ඇමොක්සිලින් අරගෙන තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔක්කොම කියවන්න..
හෙම්බිරිස්සාවක් හැදිල නැති කෙනෙක් නෑනෙ. හැමෝටම හැදිල තියෙනවා. හෙම්බිරිස්සාව හැදෙන්න හේතුව වයිරසයක්. වයිරසයක් කිව්වට එක වයිරසයක් නෙමෙයි. වයිරස් වර්ග කිහිපයක්ම තියෙනවා.
- human rhinoviruses (HRV)
- coronaviruses
- parainfluenza viruses
- adenoviruses
මේ අතරින් සෙම්ප්‍රතිශ්‍යා බහුතරයකට විතර වගකියන වයිරස් වර්ගය තමයි Rhinovirus කියන්නෙ. HRV කාණ්ඩයට අයත් සෙම්ප්‍රතිශ්‍යා වර්ග 100ක් විතර තියෙනවා.
සෙම්ප්‍රතිශ්‍යාව බෝවෙන ප්‍රධාන මාධ්‍ය තමයි ආසාදිත කෙනෙකුගෙ කිවිසුම්, ඛේටය වගේ දේවල්. මුඛ ආවරණ පැළඳීම මගින් මේ තත්වය අවම කරගත හැකි වුණත් ඒක. හැම තැනටම ප්‍රායෝගික නෑනෙ. ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි පොදු ස්ථායකට ගිහින් ආපු විගසම හොඳට මුහුණ සහ අතපය සබන් ගාලා හෝදගන්න එක.
__________________________________________
වැස්සට තෙමුණම හැදෙන හෙම්බිරිස්සාව
කලින් කිව්වනෙ හෙම්බිරිස්සාව හැදෙන්නෙ වයිරස් වලින් කියලා. හැබැයි අපි හැමෝම අත්දැකල තියෙන දෙයක් තමයි වැස්සට තෙමුණම හෙම්බිරිස්සාව හැදෙනව කියන එක. මේක ගොඩක්ම වෙන්නෙ ඉඳල ඉඳල කාලෙකට පස්සෙ වහින වැස්සකට තෙමුණම. මෙහෙම වෙන්නෙ කොහොමද? වතුරෙනුත් හෙම්බිරිස්සාව හැදෙනවද?
වතුරෙන් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නෙ නෑ. ඔතනදි වෙන්නෙ මෙහෙම දෙයක්. සෙම්ප්‍රතිශ්‍යා වයිරසය දූවිලිත් එක්ක මිශ්‍ර වෙලා අපි අවට පරිසරයේ හැම අස්සක මුල්ලකම තැන්පත් වෙලා තියෙනවා. වහිනකොට මේ දූවිලි ඔක්කොම ඇවිස්සෙනවා. එතකොට ඒ එක්ක හිටපු වයිරසයත් වාතය තුල හැමතැනම පැතිරෙන්න ගන්නවා. අපි ඔය වැස්සෙ තෙමෙන්න ගියාම ඔය හැමතැනම තියෙන වයිරසය හිතේ හැටියට අපේ අත් වල තැවරිලා නහය කට හරහා ඇතුල්වෙනවා.
ඔන්න ඕකයි වැස්සට (විශේෂයෙන් කාලෙකට පස්සෙ වහින වැස්සට) තෙමුණම හෙම්බිරිස්සාව හැදෙන්නෙ. පොඩි කාලෙ වැස්සට තෙමුණම ගිහින් නාගන්න කියල දැන හෝ නොදැන අම්මල කියන්නෙ ඔය හේතුව නිසා තමයි. නාගත්තම ශරීරයේ තැවරිලා තියෙන වයිරසය ඉවත් වෙන නිසා ප්‍රශ්නයක් නෑ
__________________________________________
එතකොට වැස්ස නැතත් සීතල කාලෙට / සීතල පැතිවල ගියාම හෙම්බිරිස්සාව හැදෙන්නෙ කොහොමද?
පරිසරය සීතල වෙනවා කියන්නෙ වාතය වියළි වෙනවා කියන එක. ඒ කියන්නෙ ආර්ද්‍රතාවයත් (Humidity) අඩුවෙනවා. සෙම්ප්‍රතිශ්‍යා වයිරස් සියල්ලම වගේ අඩු ආර්ද්‍රතා මට්ටම් වලදි ඉතා ක්‍රියාකාරී සහ ඉතා ශක්තිමත් වෙනවා. දැන් හිතාගන්න පුළුවන්නෙ සීතල පරිසරයකදි ඉක්මනට හෙම්බිරිස්සාව හැදෙන්න හේතුව සහ ලෙඩේ හොඳ කරගන්න අමාරු වෙන හේතුවත්.
__________________________________________
ලෙඩේට බෙහෙත්
සෙම්ප්‍රතිශ්‍යාව මෙච්චර බහුලව වැලඳෙන රෝගයක් වුණත් මේකට තාමත් හරිහමන් ඖෂධයක් හෝ එන්නතක් නෑ. ඒකට හේතුව තමයි සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න හේතුවෙන වයිරස් විශාල ප්‍රමාණයක් තිබීම හා ඒවා එකිනෙකට වෙනස් වීම. ඉතින් ඉලක්ක කරන්න එක රෝගකාරකයක් කියල නෑ. ඉතින් බෙහෙතකුත් නෑ
__________________________________________
ඔය කිව්වට ඇමොක්සිලින් වගේ ඇන්ටිබයොටික් එකක් ගත්තම නම් ඕන උණක් හෙම්බිරිස්සාවක් සෙමක් හොඳ වෙනවනෙ..
ඔන්න ඕක තමයි කරන්න පුළුවන් ගොංම ගොං වැඩේ. දැන් හැම ගමකම වගේ ඉන්නවනෙ වන්ශොට් කියන නමින් ප්‍රසිද්ධ වුණ දොස්තර කෙනෙක්. මොන ලෙඩේ හැදිල ගියත් පටන්ගන්නෙම සැර ප්‍රතිජීවකයකින්. මෙයාලා බලපත්‍රලාභි මිනීමරුවො ජාතියක්. උණකට සෙමකට ඇමොක්සිලින් හෝ වෙනත් ප්‍රතිජීවක (antibiotics) ගන්නව කියන්නෙ එසේමෙසේ මෝඩකමක් නෙමෙයි. මදුරුවෙක් මරන්න මිසයිලයක් යැව්වා වගේ. ඒක වෙනම ඡේදයකින් කතා කරන්න වටින ගොං වැඩක්..
__________________________________________
ප්‍රතිජීවක (Antibiotics)
ප්‍රතිජීවක කියන්නෙ අපේ ශරීරය යම්කිසි "බැක්ටීරියා ආසාදනයකට" ලක්වුණාම ඒ බැක්ටීරියාව අඩපණ කිරීමට, බැක්ටීරියා බෝවීම වැළැක්වීමට හා විනාශ කිරීමට යොදාගන්න අති විශේෂ ඖෂධ කාණ්ඩයක්. ඊට අමතරව ඉතාම කලාතුරකින් විශේෂ පරපෝෂිත කාණ්ඩ විනාශ කිරීමටත් භාවිතා වෙනවා. මුලින්ම හොයාගත්ත ප්‍රතිජීවකය තමයි පසුගිය කාලයේ නිතර කතාබහට ලක්වුණ පෙනිසිලින්. ඒ 1928දි ස්කොට්ලන්ත පර්යේෂකයෙක් වුණ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං විසින් තමන්ට සිදුවුණ අත්වැරදිමක් හරහා.
කාලයක් පුරාවට හොයාගත්ත ප්‍රතිජීවක කාණ්ඩ කීපයක් තියෙනවා..
- Penicillins - (උඩ පැනගෙන බොන amoxicillin අයිති වෙන්නෙත් මේ කාණ්ඩයට)
- Cephalosporins
- Tetracyclines
- Aminoglycosides
- Macrolides
- Clindamycin
- Sulfonamides and trimethoprim
- Metronidazole and tinidazole
- Quinolones
- Nitrofurantoin
මේ එක එක කාණ්ඩයට අයත් ප්‍රතිජීවක හරියන්නෙ එක එක වර්ගයේ ලෙඩ වලට විතරයි. ඒ කියන්නෙ එක ලෙඩකට දෙන ප්‍රතිජීවකයක් තව ලෙඩකට හරියන්නෙ නෑ. හරියට පෙට්‍රල් වාහනේට ඩීසල් ගහන්න බෑ වගේ.
මුළ ඉඳල කල්පනාවෙන් කියෙව්ව නම් මේ වෙනකොට ඔයාලට දෙයක් තේරෙන්න ඕන.
1. හෙම්බිරිස්සාව හැදෙන්නෙ "වයිරසයකින්"
2. ප්‍රතිජීවක දෙන්නෙ "බැක්ටීරියා" විනාශ කරන්න
ඒ කියන්නෙ හෙම්බිරිස්සාවට ඇමොක්සිලින් බොනව කියන්නෙ එකකට එකක් නොගැලපෙන කිසිම තේරුමක් නැති වැඩක්නෙ. මොකද "වයිරසයකින්" ඇතිවුණ ලෙඩකට "බැක්ටීරියා" මර්දනය කරන බෙහෙත් දීල වැඩක් නෑනෙ. හැබැයි කලාතුරකින් සමහර උණ හා සෙම තත්වයන් එහෙම ඇතිවෙනවා බැක්ටීරියා නිසා හටගන්න රෝගකාරක වලින්.. ඒ තැන් වලදි බොහොම පරිස්සමින් ප්‍රතිජීවකයක් නිර්දේශ කරන්න වෛද්‍යවරුන්ට සිදුවෙනවා. මෙහෙම තත්වයන් ඇතිවෙන්නෙ ගොඩක් කලාතුරකින්.
ඉතින් කොහොමහරි බෙහෙත් බොනකොට අපේ බුද්ධිමත් ඡන්දදායකයො හරි අපූරු වැඩක් කරනවා. ඒ තමයි බෙහෙත් ටික බාගෙට බොනකොට ලෙඩේ අඩුවුණාම එහෙමම බෙහෙත් ටික අතඇරල දානවා. "ආ දැන් හොඳයිනෙ", "නිකං බොරුවට මොකටද බෙහෙත් බොන්නෙ", "ඔච්චර බෙහෙත් බොන එක ඇඟට හොඳත් නෑ".. සමහරු මේ වැඩේ ගැන කියන්නෙත් හරි ආඩම්බරෙන්..
ප්‍රතිජීවක බාගෙට බීලා නතර කරනව කියන්නෙ කලින් කියපු ගොංකමටත් වඩා අන්තිම දරුණු මීහරක් වැඩක්..
ප්‍රතිජීවකයක් බාගෙට බීලා නතර කරාම වෙන්නෙ බැක්ටීරියා බාගෙට විනාශ වෙන එක. ඒ කියන්නෙ බැක්ටීරියා කොටසක් පණ බේරගන්නවා. මේ බේරෙන බැක්ටීරියා ටික අපේ ප්‍රතිජීවකය ගැන හොඳට දන්නවනෙ. ඉතින් ඒවා හරි ඉක්මනට අපේ ප්‍රතිජීවකයට අනුවර්තනය වෙනවා. ඔන්න දැන් ආපහු ලෙඩේ. දැන් අර කලින් දීපු ප්‍රතිජීවකය ආපහු දුන්නට වැඩක් නෑ. ලෙඩේ හොඳ වෙන්නෙ නෑ. ඇයි බැක්ටීරියාව දැන් අපේ බෙහෙතට මුහුණදෙන හැටි ඉගෙනගෙනනෙ ඉන්නෙ. දැන් ඉතින් ලෙඩේ හොඳ කරන්න වෙන්නෙ කලින්ට වඩා සැර ප්‍රතිජීවක මාත්‍රාවක් දීලා. ඒකත් හරිගියෙ නැතිවුණොත් එහෙම නැත්තං ඒකත් බාගෙට බීලා නතර කරොත් ඊළඟ පාර ඊටත් වඩා සැර ප්‍රතිජීවකයක් දෙන්න වෙනවා. ඔහොම කොච්චර කාලයක් කරන්න පුළුවන් කියලද හිතන්නෙ?
අවුරුද්දකට දහස් ගාණක් අළුතින් බැක්ටීරියා හොයාගන්නවා. හැබැයි 1928 ඉඳල මේ වෙනකන් අවුරුදු 91ක් පුරාවටම හොයාගෙන තියෙන ප්‍රතිජීවක අතිශයින්ම සීමිත ප්‍රමාණයක් විතරයි. මේ හොයාගන්න ටිකත් කලින් කිව්ව වගේ හැම ලෙඩකටම පාවිච්චි කරන්නත් බෑ. ඒ කියන්නෙ බාගෙට ප්‍රතිජීවක අරන් නවත්තන අයට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට එක්කො මොන ප්‍රතිජීවකය දුන්නත් ලෙඩේ හොඳ වෙන්නෙ නෑ. එහෙම නැත්තං තවදුරටත් දෙන්න ප්‍රතිජීවක ලෝකෙ හොයාගෙන නෑ. ඔන්න ඔය අවස්ථාවට කියනවා Antibiotic Resistance නැත්තං ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය කියලා. එහෙම අයට කරන්න වෙන්නෙ අදහන ආගමක් සිහිකරගෙන ජීවිතේ ඉතුරු කෙටි කාලෙට මුහුණදෙන එක. ගොඩක් වෙලාවට එයාලා සමාජයට තර්ජනයක් නිසා සමාජයෙන් වෙන් කරලා රෝහල් වලින් වෙනම වාට්ටු වල ජීවිතාන්තය දක්වා රඳවලයි තියෙන්නෙ.
__________________________________________
අළුතින් ප්‍රතිජීවක හොයාගන්න එක ඔච්චර අමාරුද?
අමාරුයි නේන්නම්. ඒක කොච්චර සංකීර්ණ වැඩක්ද කියනව නම් අළුතින් ප්‍රතිජීවකයක් හොයාගත්තට 1952 විද්‍යාඥ selman waksmanට නොබෙල් තෑග්ග පවා ලැබුණා. ප්‍රතිජීවකයක් හොයාගන්නව කියන්නෙ එච්චර ලොකු වැඩක්. මේ වැඩේට කෝටි ගානක් වියදම් වෙනවා. පරීක්ෂණ වෙනුවෙන් සත්තු බර ගානකට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධවෙනවා.
ලොකු කාලයක් ලොකු ශ්‍රමයක් වැයවෙනවා. ඒ ඔක්කොම කරල එකක් හොයාගත්තා කියමුකො. මේක අවුරුදු 10ක විතර සායනික මට්ටමින් පරීක්ෂණ කරන්න වෙනවා. ඒ ඔක්කොම කරල ඉවර වෙලා වැඩේ හරිගියොත් තමයි mass production වලට යන්නෙ.
-පරීක්ෂණ වෙනුවෙන් දිවිපිදූ සියළුම සතුන් සිහිවීම පිණිස රුසියාවේ ඉදිකෙරුණු පිළිමයක්- |
ලොකු කාලයක් ලොකු ශ්‍රමයක් වැයවෙනවා. ඒ ඔක්කොම කරල එකක් හොයාගත්තා කියමුකො. මේක අවුරුදු 10ක විතර සායනික මට්ටමින් පරීක්ෂණ කරන්න වෙනවා. ඒ ඔක්කොම කරල ඉවර වෙලා වැඩේ හරිගියොත් තමයි mass production වලට යන්නෙ.
ඔයාලා ෆාමසියට ගිහින් පොඩි ගාණක් දීලා හැම පොඩි ලෙඩටම ගන්න Antibiotics ආවෙ ඔහොම ලොකු කැපකිරීම් කරල තමයි. දන්නවද Antibiotic Resistance නිසා මේ වෙනකොට අවුරුද්දකට ලෝකෙ ලක්ෂ 7ක් මියයන බවට ඇස්තමේන්තු කරල තියෙනවා.
හොඳම කතාව තමයි මේ antibiotic resistance තත්වය ජානගතවත් යනවා. ඒ කියන්නෙ ඔයාට යම්කිසි මාත්‍රාවක ප්‍රතිජීවකයක් answer කරන්නෙ නැත්තං ඔයාගෙ පසුව ඉපදෙන දරුවන්ටත් ඒ ප්‍රතිජීවකය answer කරන්නෙ නෑ. ඒ කියන්නෙ ඒ දරුවට පටන්ගන්න වෙන්නෙම සැර ප්‍රතිජීවකයකින්. ඒ කියන්නෙ එයාට යන්න පුළුවන් දුර ඔයාටත් වඩා අඩුයි. එහෙම ගණනය කරාම United States Pharmacopeial Conventionට අනුව 2050 වසර වෙනකොට antibiotic resistance නිසා වසරකට මියයන ගණන මිලියන 10ක් දක්වා වැඩිවෙනවා. (references ඕන නම් ලිපියේ යටම තියෙන link එක බලන්න)
දියුණු රටවල ප්‍රතිජීවක පාවිච්චි කරන්නෙ අතිශය බැරෑරුම් අවස්ථා වල පමණයි. ඒ රටවල ලංකාවෙ ෆාමසි වල වගේ ප්‍රතිජීවක මිලදීගන්නත් නැහැ. මේ කතාව ගැන පුළුවන් හැමෝම දැනුවත් කරන්න. පොඩි පොඩි ලෙඩ වලට හැකිතාක් ප්‍රතිජීවක වලින් වැළකෙන්න. එහෙම බැරි නම් ෆාමසි වෙළෙන්දොයි, බාගෙට ප්‍රතිජීවක ගන්න පණ්ඩිතයොයි, වන්ශොට්ලයි එකතු වෙලා අපේ නූපන් පරපුරත් මරණයේ දොරටුව අභියසට අරගෙන යන හැටි අසරණව බලාගෙන ඉන්න..
__________________________________________
REFERENCES
https://www.webmd.com
https://www.healthline.com
https://patient.info
https://www.usp.org/our-impact/antimicrobial-resistance?gclid=CjwKCAiA27LvBRB0EiwAPc8XWS9ogfKuHABReMz0wZi-XjY-jRze4jJ6tey1td3jh0akPSJrtQ-cqBoC2l8QAvD_BwE
😮 Excellent note. 👍👏
ReplyDeleteඉතාම වටිනා ලිපියක්.
ReplyDeleteගොඩක් වටින විස්තරයක් . Thank you!
ReplyDeleteWorth reading
ReplyDeleteපිළිවෙලයි...වටී..👍
ReplyDeleteAntibiotics misuse කිරීම දැනුවත් කිරීම සම්බන්ධව ස්තූති කරන අතරම මෙමෙ post එකේ misleading කරුණු කිහිපයක් නිවරදි කරන්නේනම් වඩා හොදයි.
ReplyDelete1. වැස්සට තෙමීම, සීතල පරිසරයට හෙම්බිරිස්සාව හැදෙන විදිහ තාම scientifically පැහැදිලි වෙලා නෑ.. මේ කියලා තියන, Humidity, දූවිලි ඇවිස්සීම වගේ ඒවා තාම controversial concepts. දැනට තියන හොදම පැහැදිලි කිරීම තමයි, දූවිලි, සීතල වගේ දේවල් නිසා ශ්ලේශ්මල ස්‍රාවය වැඩිවෙනවා.. එතකොට වෙයිරස් ආසාදනය වෙන්න ලේසි.
2. වැදගත්ම කරුන මේකේ කියලා නෑ.. ඇයි antibiotic දෙන්නෙ කියලා.. හෙම්බිරිස්සාව හැදෙන්නේ වෙයිරස් උනාට එතකොට ශ්ලේශ්මල ස්‍රාවය වැඩිවෙනවා.. අන්න එතකොට secondary infections එනවා.. ඒවා බොහෝවිට බැක්ටීරියා.. අපි "සෙම පැසවල" කියන්නේ එතකොට.. අන්න එතකොට තමයි Antibiotic ඕනෙ වෙන්නෙ.. ලංකාව වගේ Humidity වැඩි, air pollution වැඩි warm country එකක ඕක අනිවාර්යයෙන්ම වෙනවා.. ඒනිසා තමයි දොස්තරල antibiotic දෙන්නෙ.
ඇමරිකාව එංගලන්තය, බටහිර රටවල් හුගක secondary infection අඩුයි.. ඒනිසා Antibiotic ඕනවෙන්නෙ නෑ..
ඒනිසා doctors දෙනවනම් Antibiotic නොබී ඉන්න එපා..හැබැයි ගොඩක් වෙලාවට antibiotic misuse කරන එක නම් ඇත්ත
Thank you 👍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකොරෝනා වයිරස් එක ගැන අපට කලින් දැනගෙන තිබුනා නේද? හොර ගෙඩියා අද දිනය 2020/05/11 කොරෝනා වලින් බටකෑ ලෝකයෙ ජනතාව ගැන අපට කලින් ඔබ දැනුවත් නේද ??? වටිනා ලිපියක් බොහොම ස්තූත්‍යී..දැගටම මෙවැනි ලිපි පල කරන්න ස්තූත්‍යී
ReplyDeleteබොහොම ස්තූතියි දිරිගැන්වීමට! 😊
Delete