තරු නිවි නිවි පත්තු වෙන්නයි ග්‍රහලෝක එහෙම නොවෙන්නයි හේතුව - Why Stars Twinkle & Planets do not..

පොඩි කාලෙ මතකද ඉගෙනගත්තා රෑ අහසෙ පෙනෙන ආකාශ වස්තු අතරින් තරු සහ ග්‍රහලෝක වෙන් කරල අඳුරගන්න හැටි? ක්‍රමය තමයි තරු පේන්නෙ නිවෙනවා පත්තු වෙනවා වගේ (blink වෙවී). හැබැයි ග්‍රහලෝක වලින් ලැබෙන එළිය එක දිගටම පත්තු වෙලා තියෙනවා. ඔය ක්‍රමයට රෑ අහසෙ තරු සහ ග්‍රහලෝක වෙන් කරල අඳුරගන්න දැනගෙන හිටියට එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගෙන හිටියද? එක රටක් එක නීතියක් කිව්වට ඇයි එක්කෙනෙක් විතරක් blink වෙන්නෙ? අද කතාව ඒ ගැන.



මහන්සි වෙලා ලියන ලියන එක හොරකම් කරලා යටින් තමන්ගෙ නම දාගෙන තමන්ගෙ වගේ පළකරන අය ලොකු ප්‍රමාණයක් හිටපු නිසා ආපහු blog එක ලියන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. හැබැයි රෑ අහස දැක්කම එක්කො මේකත් ලියන්න ඕන කියල හිතුනා. මොකද මේක පොඩි කාලෙ මටත් තිබුණ දැවෙන ප්‍රශ්නයක් නිසා. ඉතින් මාස 5කට පස්සෙ ආපහු බ්ලොග් එක ලියන්න ආවා..


මුලින්ම කියන්න ඕන තරුත් ඇත්තටම නිවි නිවි පත්තු වෙන්නෙ නෑ එක දිගටම එළිය දෙනවා මිසක්. හැබැයි අපේ වායුගෝලය නිසා අපිට තරු පේන්නෙ නිවි නිවි පත්තු වෙන හැටියට. ඒක වෙන්නෙ මෙහෙම.

තරු තියෙන්නෙ ගොඩාක් ඈතනෙ. එතකොට අපිට නිරීක්ෂණය වෙන්නෙ pinpoints හැට්යට. මේ රූප සටහනේ හැටියට තරු එළිය අපේ වායුගෝලයට එනකන් එනවා.



එතනින් එහාට එළිය එන්න ඕන මෙහෙමනෙ.




හැබැයි ඇත්තටම ඔය එළිය වායුගෝලය දිගේ එන්නෙ ඔහොම නෙමෙයි මෙහෙම.



ඕකට හේතුව තමයි ආලෝක වර්තනය.

ප්‍රකාශ විද්‍යාවේ දී වර්තනය කියල හැඳින්වෙන්නෙ ආලෝක තරංග එක් වර්තනාංකයක් ඇති මාධ්‍යයක සිට වෙනත් වර්තනාංකයකින් යුත් මාධ්‍යයකට යාමේදී මාධ්‍ය දෙක අතර අතුරු මුහුණතේදී ආලෝකයේ ප්‍රවේගය වෙනස් වීමයි. ඕක O/L වලටත් ඉගෙනගත්තා මතකයිනෙ. ඉතින් ඔය වර්තනයම තමයි අභ්‍යාවකාශයේ රික්තයේ ඉඳල අපේ වායුගෝලයට ඇතුල්වෙන ආලෝක කිරණයට වෙන්නෙත්.


හැබැයි එක වර්තනයක් විතරක් නෙමෙයි වෙන්නෙ. අපේ වායුගෝලයේ එක එක layer එකේදි තියෙන උෂ්ණත්වය වෙනස්, ඝනත්වය වෙනස්, තියෙන වායූන් වෙනස්, තියෙන දූවිලි අංශු ප්‍රමාණය වෙනස්.. ඔක්කොම බැලුවම layer එකෙන් layer එකට වර්තනාංකය වෙනස් මාධ්‍ය ගොඩයි. එතකොට වෙන්නෙ අර වායුගෝලයට ඇතුළු වෙන ආලෝක කිරණයට වර්තනයන් ඉතා විශාල සංඛ්‍යාවකට මුහුණදෙන්න සිද්ධ වෙනවා. හරියට මේ වගේ.




හැබැයි ඕක ඔහොමම තියෙන්නෙ නෑ. අපේ වායුගෝලයේ අර කලින් කියපු හැම layer එකක්ම තත්පරෙන් තත්පරේට තමන්ගෙ උෂ්ණත්වය, ඝනත්වය, වර්තනාංකය ඇතුළු බොහෝ ගතිගුණ වෙනස් කරගන්නවා. ඒ කියන්නෙ තත්පරෙන් තත්පරේට ආලෝක කිරණයේ වර්තනය වෙනස් වෙනවා. ඔන්න එතකොට තත්පරෙන් තත්පරේට ආලෝක කිරණයේ ගමන් මග වෙනස් වෙනවා. හරියට මේ වගේ..



මේ හේතුව නිසා පොළොව මත ඉන්න නිරීක්ෂකයෙක්ගෙ ඇසට තරුවෙන් විහිදෙන ආලෝක කිරණ එක දිගටම වැටෙන්නෙ නෑ. දැන් ආලෝක කිරණ වලින් 70%ක් ලැබුණට ඊළඟ තත්පරේදි ලැබෙන්නෙ 20%ක් වෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙන්නෙ එළිය ඩිම් උනා වගේ. ඊළඟ තත්පරේ ආපහු 60%ක් විතර එළිය ඇසට ලැබුණම ඔන්න ආපහු තරුව පත්තු වුණා. ඔහොම තමයි තරු නිවි නිවි පත්තු වෙන්නෙ. අපි වායුගෝලයෙන් එළියට ගිහින් බැලුවොත් අපිට පේන්නෙ තරු එක දිගටම දැල්වෙලා තියෙන බව.. 

පැහැදිලියි කියල හිතනවා.


ග්‍රහලෝක

අපි ග්‍රහලෝක නිරීක්ෂණය කරන්නෙත් වායුගෝලය ඇතුලෙ ඉඳලමනෙ. ඒ ග්‍රහලෝක වලින් නිකුත් වෙන එළියත් අපේ ඇස මත පතිත වෙන්නෙ කලින් කියපු වායුගෝලය හරහාම ඇවිත්නෙ. එහෙනම් ඇයි උඩ කියපු වර්තන කතාව ග්‍රහලෝක වලට බලපාන්නෙ නැත්තෙ? ඕකනෙ ප්‍රශ්නෙ?


මුලින්ම කිව්වනෙ අපිට තරු වල එළිය ලැබෙන්නෙ ඉතා කුඩා pinpoints හැටියට කියලා. එහෙම වෙන්නෙ තරු තියෙන්නෙ ඉතාම දුරින් නිසා. හැබැයි ග්‍රහලෝක තියෙන්නෙ ගොඩක් ලඟින්නෙ. එතකොට ග්‍රහලෝක හරි නම් අපිට පෙනෙන්න ඕන සාපේක්ෂව තරමක් විශාලව. ඇත්තටම අපිට ග්‍රහලෝක වල එළිය එන්නෙත් සාපේක්ෂව විශාල ආලෝක කදම්බයක් හැටියට.

ඔය එන ආලෝක කදම්බයත් අර කලින් කියපු වර්තන සංසිද්ධියට ලක්වෙනවා. එහෙම වෙලා එයාගෙ එළියත් ඩිම් වෙනවා. ඩිම් වෙලා සම්පූර්ණ එළියෙන් කොටසයි අපිට පෙනෙන්නෙ. හැබැයි එයා ප්‍රමාණයෙන් ලොකු නිසා අර ඩිම් වෙලා එන එළියත් සැලකියයුතු තරම් එළියක්. ඒ නිසා අපිට ඒ එළිය පෙනෙන්නෙ එකදිගටම එන එළියක් හැටියට. නිවි නිවි පත්තු වීමක් නිරීක්ෂණය වෙන්නෙ නැතිම තරම්.




"ඔය කිව්වට රෑ අහසෙ පෙනෙන තරුයි ග්‍රහලෝකයි 2ම එක සයිස්නෙ. එතකොට කොහොමද අර කියපු කතාව වෙන්නෙ?"


මේ තියෙන්නෙ නිවි නිවි පත්තු වෙනව වගේ අපිට පේන තරුවක simulation එකක්..





ඊළඟට මේ තියෙන්නෙ ග්‍රහලෝකයක්. මේක ඇත්තටම ප්‍රමාණයෙන් ලොකුවට පෙනෙන නිසා මම උඩ තියෙන තරුවෙ simulation එකම කීප සැරයක් copy paste කරලා ග්‍රහලෝකෙ ඇතුලට දාලයි තියෙන්නෙ. මේ තියෙන්නෙ ඒ ග්‍රහලෝකය




මේ තියෙන්නෙ තරුව (වමේ) සහ ග්‍රහලෝකය (දකුණේ) එකම simulation එකේ..




දැන් බැලූ බැල්මටම තරුවට වඩා ග්‍රහලෝකය ලොකුවට පේනවනෙ. දැන් අපි මේ දෙන්නම එක සයිස් එකට පේනකන් ටික ටික දුරට යමු.

මේ Simulation එක දිහා තත්පර 20ක් විතර බලාගෙන ඉන්න


දැන් පැහැදිලි ඇති වෙච්ච දේ. දැන් දෙන්නම පෙනෙන්නෙ එකම සයිස් එකෙන්. පෘථිවි වායුගෝලය නිසා දෙන්නම blink වෙනවා. හැබැයි අපිට blink වෙනවා පේන්නෙ එක්කෙනයි. ඒකට හේතුව අපිට ලඟින් තියෙන ග්‍රහලෝකය සාපේක්ෂව විශාල නිසා එයාගෙ එක තැනක එළිය අඩු වෙනකොට තව තැනකින් එළිය වැඩිපුර අපේ ඇසට ලැබිලා එක දිගටම දැල්වෙන බව පෙනෙන එක. ඒ වගේම තමයි අහසෙ හරි කෙලින් ඉහළ බැලුවම පෙනෙන තරු වලට වඩා ක්ෂිතිජය දිගේ ඈතින් පෙනෙන තරු වල වැඩි twinkle එකක් බලාගන්න පුළුවන්. 

තැඹිලි පාට ආලෝක කිරණය : ක්ෂිතිජය ඔස්සේ පෙනෙන තාරකාවක ආලෝකය වායුගෝලය ඔස්සේ වැඩි දුරක් ගමන් කරන ආකාරය.


එහෙම වෙන්නෙ ඒ තරු වල එළිය වායුගෝලය ඔස්සේ සාපේක්ෂව වැඩි දුරක් ගමන් කරන නිසා.

අන්තිමට බැලුවම රෑ අහසෙත් තිබිල තියෙන්නෙ ලස්සන දෘෂ්ටි මායාවක්..

- රෙහාන් මෙන්ඩිස් 

https://diaryofrehan.blogspot.com

Comments

  1. Blog එක හොදයි interesting හැබැයි අපි ප්‍රෙක්ෂකයෝ විදියට අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් දෙයක් ලැබෙනවනම් .
    Blog එක මරු දිගටම කරන් යන්න .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි! ලියන්න දෙයක් මතක් වෙනකොට වෙලාව නෑ. වෙලාව තියෙනකොට ලියන්න දෙයක් නෑ. 2ම තියෙනකොට මට ලියන්න කම්මැලියි. ඔන්න ඕකයි උනේ 😂

      අද ඔන්න තව එකක් ලිව්වා. ගිහින් බලන්නකො 👍

      Delete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය