සුළිසුලඟක් කැරකෙන දිශාව

ඔබ බොහෝ විට කුඩා කාලයේ අසා ඇති පෘථිවියේ උතුරු අර්ධගෝලයේදී සින්ක් වල වතුර බහින්නේ වාමාවර්ත සුළියක් ඇති කරමින් බවත් දකුණු අර්ධගෝලයේ සින්ක් වල වතුර බහින්නේ දක්ෂිණාවර්තව සුළියක් ඇතිකරම්න් බවත්. එහෙම වෙන්නෙ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නිසා වගේ කතාවකුත් සමහරවිට අහල ඇති. ඇත්තටම ඔය කතා ඔක්කොම සාවද්‍යයි. 




සින්ක් වල වතුර බහින දිශාවට පෘථිවිය මත එහි පිහිටීම අදාළ නෑ. ඔබ සමකය මත පිහිටි උගන්ඩාව වැනි රටක සංචාරය කර තිබෙනවා නම් බොහෝ විට දැක ඇති එහි වැසියන් සමකය ලෙස නම් කල ඉරක් ඇඳ ඒ මතත්, ඉරෙන් දෙපසත් වෙන වෙනම සින්ක් 3ක් තබා වතුර යවන හැටි. එහිදී උතුරු අර්ධගෝලයේ සින්ක් එකේ වාමාවර්තවත් දකුණු අර්ධගෝලයේ සින්ක් එකේ දක්ෂිණාවර්තවත් සුළියක් ඇති කරම්න් වතුර බසිද්දි සමකය යැයි ඔවුන් කියාගන්නා ඉර මත ඇති සින්ක් එකෙහි වතුර බසින්නේ කිසිම සුළියක් ඇති නොකරම්න්. මෙය එම ප්‍රදේශ වල ප්‍රසිද්ධ ව්‍යාපාරයක් වන අතර සරළ ඇස්බැන්දුමක් හැරුණු විට මෙහිද සත්‍යතාවයක් නැහැ.

සින්ක් වැනි කුඩා වපසරියකට අදාළ නොවුණත් මේ සුළි කතාව සමහර අතිවිශාල තැන් වලට හොඳටම අදාලයි. උදාහරණයක් හැටියට සුළි සුළඟක් සලකන්න පුළුවන්. සුළි සුළඟක් නම් ඇත්ත වශයෙන්ම උතුරු අර්ධගෝලයේදී වාමාවර්ත භ්‍රමණයකුත් දකුණු අර්ධගෝලයේදී දක්ෂිණාවර්ත භ්‍රමණයකුත් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ වාමාවර්ත දක්ෂිණාවර්ත කතාව ඇතිවෙන්නෙ සුළිසුලං වගේ ඉතා විශාල ප්‍රමාණයේ ඒවාට පමණයි. 

එහෙම අර්ධගෝලය අනුව භ්‍රමණ දිශාව තීරණය වෙන්නෙ කොහොමද?

මේකට හේතුව කොරියෝලියස් ආචරණය. පෘථිවිය ගෝලයක්. ඉතින් පෘථිවිය බටහිර සිට නැගෙනහිරට හරියටම එක වටයක් කැරකෙනකොට සමකය මත තිබෙන රටක් ධ්‍රැවාසන්න රටකට සාපේක්ෂව ඉතා වැඩි දුරක් ගමන් කරනවා. ඒ කියන්නෙ සමකය ආසන්නයේ තියෙන ලක්ෂ්‍යයක වේගය ධ්‍රැවාසන්නයේ තියෙන ලක්ෂ්‍යයක වේගයට වඩා වැඩියි. ලංකාවේ ගමන් වේගය එංගලන්තයට වඩා වැඩියි

-පෘථිවියේ විවිධ ස්ථාන වල විවිධ වේගයන්-


මේක නිසා හරි අපූරු වැඩක් වෙනවා.

මෙහෙම හිතන්න. ගමන් කරන බස් එකක ඉස්සරහ සහ පසුපස දොරේ ඔබේ මිතුරන් දෙදෙනෙක් ඉන්නවා. බසය ඔබ අසලින් යන විටම ඔබ පාරේ නිශ්චලව සිටිමින් ඉදිරිපස දොරේ සිටින මිතුරාට බෝලයක් විසිකරනවා. නමුත් බෝලය බසයට ලඟා වෙනකොට බසය වේගයෙන් ඉදිරියට ගිහින්  අවසන්. ඉතින් බෝලය අල්ලාගන්න සමත් වෙන්නෙ ඉදිරි දොරේ මිතුරා නොවෙයි පසුපස දොරේ මිතුරායි. මෙයත් එවැනි කතාවක්. ඔබ උත්තර ධ්‍රැවය මත සිට හරියටම ලංකාව දිශාවට බෝලයක් විසිකරොත් ඒ බෝලය පතිත වෙන්නෙ ලංකාවට නෙමෙයි ලංකාවට මදක් "බටහිර" පැත්තට. ඒ කියන්නෙ මැඩගස්කරය පැත්තට

එහි අනෙක් පැත්තත් අපූරුයි. ඔබ ගමන් කරන බසයක සිටිමින් පාරේ නිශ්චලව සිටින මිතුරෙකු දෙසට බෝලයක් විසි කරොත් එම බෝලය වැටෙන්නේ මිතුරා සිටින තැනට නොවෙයි මිතුරාට මදක් ඉදිරියෙනුයි. එලෙසම සමකය අසල පිහිටි ලංකාවේ සිට උත්තර ධ්‍රැවයට විසිකරන බෝලය වැටෙන්නේත් උත්තර ධ්‍රැවයට මදක් "නැගෙනහිරින්".

සුළඟට වෙන්නේත් මේ සංසිද්ධියමයි. "ධ්‍රැව වල සිට සමකයට" ඇදී එන සුළං මදක් "බටහිරට" නැඹුරු වෙද්දී "සමකයේ සිට ධ්‍රැව වෙත ඇදී යන සුළං මදක් "නැගෙනහිරට" නැඹුරු වෙනවා. මෙය සෑමවිටම සිදුවෙනවා.  නමුත් මෙහෙම වෙන වේලාවක සමකයට මදක් අසලින් විශාල වළාකුළු ප්‍රමාණයක් එකතු වුණොත් (එහෙම වළාකුළු එකතු වෙන්නෙ පීඩන අවපාත නිසා) ඒ අවස්ථාවේදී සුළිසුලඟක් ඇතිවිය හැකියි. මෙලෙස එකතු වන විශාල වළාකුළු පද්ධතියක දෙපසින් සුළඟේ බලය යෙදෙන්නේ දිශා 2කින්.

උදාහරණයක් සඳහා උතුරු අර්ධගෝලයේ ඇතිවන සුළිසුලඟක් සලකමු. වළාකුළු පද්ධතියේ බටහිර කොටසට සුළං හමන්නේ උත්තර ධ්‍රැවය දෙස සිට සමකය දෙසට. නමුත් වළාකුළු පද්ධතියේ නැගෙනහිර කොටසට සුළඟේ බලය යෙදෙන්නේ සමකයේ සිට උත්තර ධ්‍රැවය දෙසට. එවිට සිදුවන්නේ වළාකුළු පද්ධතිය වාමාවර්තව භ්‍රමණය වීමයි. සරළව පැහැදිලි කලොත් ඔබ ඇඟිලි 2ක් යොදාගෙන බෝතලයක මූඩියක් විවෘත කරනවා වගේ. මෙලෙස භ්‍රමණය වීම ආරම්භ වන වළාකුළු පද්ධතිය දිගින් දිගටම ඇතිවන සුළං, මුහුදු රළ සහ පීඩන අවපාත හේතුවෙන් භ්‍රමණ වේගය වැඩිවී මෙය වාමාවර්තව භ්‍රමණය වන සුළිසුලඟක් දක්වා වර්ධනය වෙනවා.

පෘථිවියේ දකුණු අර්ධගෝලයේදී සිදුවන්නේ මෙහිම අනෙක් පැත්තයි. මේ සඳහා පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය කිසිසේත්ම අදාළ නොවන අතර මේ සංසිද්ධියට පාදක වන්නේ කොරියෝලියස් ආචරණයයි.

-අර්ධගෝල 2යි ඇතිවූ ප්‍රතිවිරුද්ධ භ්‍රමණ දිශාවන්ගෙන් යුත් සුළිසුලං 2ක්-


මම මේ සටහන ලියන වෙලාව වන විටත් බුරවි සුළිසුළඟ ලංකාවට ඇතුළුවීමට අතිශයින්ම ආසන්නයි. 

-බුරවි සුළිසුලඟේ අද ප.ව. 7.14ට පමණ පිහිටීම windy.com වෙබ් අඩවියෙන්-


බුරවි සුළිසුලඟත් බිහිවුණේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේමයි. එබැවින් එහි භ්‍රමණ දිශාවත් වාමාවර්තයි.

© රෙහාන් මෙන්ඩිස්

References..
https://scijinks.gov
https://www.windy.com/?8.731,80.830,6

Comments

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය