හීන ලෝකය

මෙහෙම අත්දැකීමක් ඔයාටත් තියෙනවද? ඔන්න එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න වත් බෑ. ඔයාගෙ ශරීරය ඔයාට පාලනය කරගන්න බෑ. මනස ශරීරයෙන් තනිකරම වෙන්වෙලා එළියට ඇවිත් වගේ. එක පාරක් හරි එහෙම වෙලා තියෙනව නම් දිගටම කියවන්න.



ඔන්න අද අපි කතා කරන්න යන්නෙ අපි හැමෝම අත්දැකල තියෙන අපූරු  මාතෘකාවක් ගැන.. ඒ තමයි හීන.. හැබැයි අර TV එකේ එක එක්කෙනා කියවන ජාතියෙ බහුබූත හීන පලාඵල  ගැන නම් නෙමෙයි. අපි මේ කතා කරන්නෙ හීන සම්බන්ධ විද්‍යාත්මක කරුණු ගැන.

පොඩ්ඩක් ඉන්න.. හීන ගැන කතා කරන්නෙ කොහොමද නින්ද අමතක කරලා? ඒක නිසා මුලින්ම අපි නින්ද ගැන ටිකක් වැඩිපුර හොයල බලමු.

නින්දෙන් අපිට ලැබෙන එක වාසියක් තමයි අපේ දරාගැනීමේ ශක්තිය වැඩිවෙන එක. අධ්‍යයන වලින් හෙළිවෙලා තියෙන හැටියට කාලයක් පුරාවට පුද්ගලයෙකුගෙ නින්ද 50%කින් කපාහැරියම ඔහුට දරාගත හැකි උපරිම වේදනාවත් සීඝ්‍රයෙන් අඩුවෙනවලු. හැබැයි ඒකට නිශ්චිත හේතුවක් නම් තාමත් විද්‍යාඥයො හොයාගෙන නැහැ. නින්ද කොච්චර අත්‍යවශ්‍යද කියනව නම් පුද්ගලයෙක් වැඩිම කාලයක් එක දිගට නිදි රහිතව හිටපු කාලයට හිමි ලෝක වාර්තාව දින 11ක් පමණයි. ඒ 1964දි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රැන්ඩි ගාඩ්නර් විසින් පිහිටුවන ලද වාර්තාව. ඒ වාර්තාව ලඟට වත් එන්න උත්සහ කරපු හැමෝටම සිද්ධවුනේ වාර්තාව කඩන්න කලින් අකාලයේ ජීවිතයෙන් සමුගන්න. ඒ තරමට නින්ද ශරීරයට අත්‍යවශ්‍යයි. වාර්තාව පිහිටුවපු රැන්ඩිත් ජීවත්වෙන්න වාසනාව ලැබුවට මොකද පසු කාලීනව දැඩි මානසික රෝග වලට මුහුණදුන්නා.

-Randy Gardner-


නින්දෙන් වෙන තවත් ඉතාම ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් තමයි මොළය පිරිසිඳු වීම. ඒ කියන්නෙ අනවශ්‍ය මතකයන් ටික ඉවත් කරලා මොළය clear කිරීම. අපේ නින්දෙ ගැඹුරුම වෙලාවෙදි ඒ කියන්නෙ හීන පේන වෙලාවදි තමයි මේ මොළය පිරිසිඳු කිරීමේ ක්‍රියාවලිය උපරිමයෙන් සිදුවෙන්නෙ. මොකද අපි නිදාගත්තට අපේ subconscious brain එක සුපුරුදු පරිදිම වැඩනෙ (subconscious brain එක ගැන ලියපු ලිපිය මෙතනින් කියවන්න). ඒ වගේම brain cells ශක්තිමත් වීම, සිරුරේ පටක අළුත්වැඩියාව වගේම ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙත් මේ වෙලාවට. ඒක නිසා නිවැරදි නින්දක් ලබාගැනීම හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි. එහෙම නැතිවුනොත් විවිධ මානසික ව්‍යාකූලතාවයන් හා ඒ නිසාම විවිධ කායික රෝගත් ඇතිවෙන්න පුළුවන්.




නින්දෙ ප්‍රධාන කොටස් 2ක් තියෙනවා.

1) Non REM sleep
2) REM sleep

මුලින්ම අපිට අත්දකින්නෙ Non REM නැත්තං NREM කියන අවස්ථාව. ඊට පස්සෙයි REM අවස්ථාවට එන්නෙ. ඔය ටික නින්දෙදි වෙන්නෙ මෙහෙමයි.

1) ඔයා ඇස් වහගෙන ඉන්නෙ. හැබැයි තාම හරියට නිදි නෑ. පහසුවෙන්ම අවදි කරන්න පුළුවන්. මේ අවස්ථාව විනාඩි 5 - 15 විතර කාලයක් පවතිනවා.

2) දැන් ඔයා ටික ටික සැහැල්ලු නින්දකට අවතීර්ණ වෙනවා. ඔයාගෙ හෘදස්පන්දනය අඩු වෙනවා, ශරීර උෂ්ණත්වයත් අඩුවෙනවා. ශරීරය ටික ටික ගැඹුරු නින්දට සූදානම් වෙනවා.

3) දැන් ඔයා ඉන්නෙ ගැඹුරු නින්දෙ. අර කලින් කියපු පටක අළුත්වැඩියාව වගේ දේවල් වෙන්නෙ මේ වෙලාවෙදි. බැරිවෙලාවත් මේ වෙලාවෙදි කවුරුහරි ඔයාව අවදිකරොත් ඔයාට සමහරවිට ටික වෙලාවක් යනකන් සමබරතාවය වත් තියෙන එකක් නැහැ.

4) ඔන්න දැන් එනවා REM sleep එකට. මොකක්ද මේ REM කියන්නෙ? REM කියන්නෙ Rapid Eye Movement කියන එකට. මේ වෙලාවෙදි ඔයාගෙ ඇස් ඉතාම වේගයෙන් චලනය වෙනවා. ඒක බලන් ඉන්න හරි අමුතුම දර්ශනයක්. මේ කෙටි වීඩියෝ එක බලන්නකො REM sleep එහෙම ඇස් චලනය වෙනකොට කොයි වගේද කියලා. ඔයාටත් නින්දෙදි අනිවාර්යයෙන් ඔය ටික වෙනවා.


-REM Sleep-

මේ REM sleep එක ඇතිවෙන්නෙ අපි නිදාගෙන විනාඩි 90ක් විතර යද්දි. මේක විනාඩි 10ක් විතර පවතිනවා. ඊට පස්සෙ ආපහු පළවෙනි පියවරේ ඉඳල එනවා. මේක සාමාන්‍යයෙන් විනාඩි 90 විතර චක්‍රයක් හැටියටයි වෙන්නෙ. හැබැයි දෙවෙනි REM sleep එක නම් විනාඩි 10ට වඩා දිගයි. ඔහොම දිග වැඩිවෙලා අන්තිම එක පැයක් දක්වා උනත් වෙන්න පුළුවන්. පුංචි බබාලගෙ නින්දෙන් 50%ක්ම මේ REM sleep එකටයි වැටෙන්නෙ.

ඉතින් අපිට මොකක්ද මේ REM sleep එකෙන් ඇති වැඩේ? වැඩේ තමයි

අපිට හීන පේන්නෙ මෙන්න මේ REM sleep එකේදි!!



අර වීඩියෝ එකේ වගේ අපි ඇස් හොලවලා කරන්නෙ හීන ලෝකෙ අපිට පේන දේවල් දිහා බලන එක.

අපිට පෙනෙන හීනත් හරි අපූරුයි. හීන පේන්න නිශ්චිතම හේතුවක් තාමත් හොයාගෙන නෑ. ඒත් දැනට හොයාගෙන තියෙන දේවල් ටිකක් කියන්නම්.






අපිට හීනෙන් පෙනෙන එක දෙයක් තමයි අපි සාමාන්‍ය ජීවිතයෙදි අත්දකින දේවල්. දන්නවද ඉස්සර ඇමරිකාවෙ කළු සුදු රූපවාහිනි තිබුන කාලෙ. මිනිස්සුන්ගෙන් 12%කගෙ විතර හීනත් තනිකරම කළු සුදු විතරයි. ඒ වගේම කථන ආබාධ සහිත අය හීන දකිද්දි හස්ත සංඥා පාවිච්චි කරනවලු. කාලයක් ඇස් පෙනිලා පසුව අන්ධ වුණ අයත් හීන දකිනවලු. උපතින්ම අන්ධ අයත් එයාලට දැනෙන සංවේදන වලට අනුව හීන අත්විඳිනවා. වැඩිය ඕන නෑ සත්තුත් හීන දකිනවා. ඒ හැමෝම ගොඩක් වෙලාවට හීනෙන් දකින්නෙ සැබෑ ජීවිතේ අත්දැකීමකට සම්බන්ධ යම් දෙයක්. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි.

හීන හැබෑ වෙන්නෙ කොහොමද?

ආපහු මතක් කරනවා පුළුවන් නම් මම කලින් ලියපු "මනසින් වැඩ ගැනීම" කියන subconscious brain එක සම්බන්ධ ලිපිය කියවන්න කියලා. මොකද subconscious brain එක ඒ තරම් පුදුම දෙයක්. ඔයා දවස පුරාම දකින දේවල් ටික ඔයා නිදාගත්තම මේ subconscious brain එක analyze කරල බලනවා. ඊට පස්සෙ ඒ දත්ත අනුව එයා අනුමාන කරනවා ඔයාට හෙට මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට ඔයා අද හොඳ ගොං වැඩ ටිකක් කරල නිදාගත්තා කියල හිතමු. නින්දෙදි subconscious brain එක ඔයාට රූප මවලම පෙන්නනවා අද ගොං වැඩ කරා නම් දැන් ඉතින් හෙට මේ විදියට තමයි විඳවන්න වෙන්නෙ කියලා.

Subconscious mind එක කියන්නෙ කොච්චර බලගතු දෙයක්ද කියලා කලින් ලිපිය කියෙව්ව නම් ඔයාලා හොඳටම දන්නවනෙ. ඉතින් මෙයා කියන දෙයක් ලේසියෙන් වරදින්නෙ නෑ. ඉතින් හෙට ඒකම ඇත්තටම සිද්දවෙනවා. එතකොට ඔයාට මතක් වෙනවා මම හීනෙන් දැක්කෙත් මේකම නේද කියලා. ඇත්තටම ඒක ගුප්ත දෙයක් වත් අහඹු සිදුවීමක් වත් නෙමෙයි. ඒක ඔයාගෙම මොළයෙන් කරපු prediction එකක්.



විහිළුවක් වගේ පෙනුනට දිමිත්‍රි මෙන්ඩලීෆ් ආවර්තිතා වගුව හොයාගත්තෙත්, August Kekulé බෙන්සීන් අණුවෙ හැඩය හොයාගත්තෙත් මෙහෙම හීනෙන්ම තමයි.


හීන හා සම්බන්ධ ගුප්ත දේවල්


නින්දෙන් ඇවිදීම



Parasomnia වගේ මානසික රෝග නිසා හීනෙන් ඇවිදින අය ඉන්නවා. මේක ප්‍රතිකාර ගතයුතු තත්වයක්. මොකද මෙහෙම හීනෙන් ඇවිදල ගිහින් අපරාධ කරපු අයත් ඉන්නවා. මේ ගැන ප්‍රසිද්ධ කතාවක් තමයි එක්තරා පුද්ගලයෙක් හැමදාම රෑට හීනෙන් පිහිනුම් තටාකයට ගිහින් නින්දෙන්ම පීනන්න පුරුදු වෙලා ඉඳලා. දවසක් එතනට ආපු එයාගෙ යාළුවෙක් මෙයාව අවදිකරලා. මේ පුද්ගලයා එක පාරටම ගිලෙන්න ගිහින්. හේතුව තමයි මෙයා හීන ලෝකෙදි කොච්චර දක්ෂ පිහිණුම් ශූරයෙක් වුණත් සැබෑ ජීවිතේදි මෙයාට කොහෙත්ම පිහිනන්න බැරිකම. මෙහෙම වෙන්න හේතුව නම් තාමත් හොයාගෙන නෑ.


Sleep Paralysis


ලිපිය මුලදිම මම කිව්වෙ මේක ගැන තමයි. ඔන්න ඔයා එක පාරටම නින්දෙන් අවදිවෙනවා. හැබැයි අතපය තියා ඇඟිල්ලක් වත් හොලවන්න බෑ. හරියට ඔයාගෙ ආත්මය ශරීරයෙන් එළියට ඇවිත් වගේ. කෑගහගන්න වත් බෑ. මේක ගොඩක් දුරට ඔයත් ජීවිතේ එක පාරක් හරි අත්විඳලා ඇති.



මෙතනදි වෙන්නෙ අර කලින් කියපු නින්දෙන් ඇවිදීමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක්. මෙහෙමනෙ. අපි නිදාගත්තම අපේ ශරීරය තාවකාලිකව paralyze වෙනවා (මේකට අංශභාගය කියන වචනය කොච්චර දුරට හරිද කියන එක නොදන්න නිසා දිගටම paralyze කියන්නම්). එහෙම වෙන්නෙ අපි නින්දෙන් අනතුරු කරගන්න එකෙන් වැළකෙන්නයි. අපි අවදිවෙද්දි ආපහු ශරීරය ප්‍රකෘති තත්වයට පත්වෙනවා. ඒක ස්වභාවික ක්‍රියාවලියක්.

හැබැයි ඉතින් ඕනම යන්ත්‍රයක් වගේ කලාතුරකින් මේක ටිකක් අප්සෙට් වෙනවා. මොළය සම්පූර්ණයෙන් අවදිවෙලා. හැබැයි තාම ශරීරය අර කලින් කියපු paralyze අවස්ථාවෙමයි. එතකොට තමයි ඔය අත්භූත සිද්ධිය අපිට අත්දකින්න වෙන්නෙ. මේකෙ කිසිම අත්භූත දෙයක් නෑ. මේකට සමහරු astral body කතාවකුත් ඇදල ගන්නවා. එහෙම කෙහෙල්මලක් නෑ මේකෙ කිසිම ගුප්ත සිදුවීමක් නෑ. මේක සාමාන්‍යයි. මම නම් එහෙම වෙලාවට කරන්නෙ හෙමීට කකුලෙ ඇඟිල්ලක් හොලවන්න උත්සහ කරන එක. ඒ වේගය ටික ටික වැඩි කරාම එක වෙලාවකදි මුළු ඇඟම හෙලවෙන තැනකට එනවා. එතනදි ශරීරය අර paralysis එකෙන් මිදිලා සාමාන්‍ය පරිදි අවදිවෙනවා. ඕකට බයවෙන්න කිසිම හේතුවක් නෑ. හැබැයි ඉතින් නිතරම ඕක වෙනව නම් වහාම ගිහින් වෛද්‍ය උපදෙස් ගන්න. ඔයාට ලෙඩක් :D

එකම සිහිනය නැවත නැවත පෙනීම

සාමාන්‍යයෙන් මෙහෙම වෙන්නෙ අපිට එදිනෙදා ජීවිතේදි මොනවහරි ඉතාම වැදගත් දෙයක් මගහැරුණමලු. ඒ මගහැරුණු දේ නිසා ඔයාට ඇතිවෙන මානසික ආතතිය නිසයි මෙහෙම වෙන්නෙ. මොනවද මගහැරුනෙ කියලා හෙමීට මතක් කරගෙන ඒ වැඩේ සම්පූර්ණ කරගත්තා නම් ආපහු ඒ හීනය පේන එකක් නෑ.






උඩකින් වැටෙන හීන

ඔයාටත් සමහර වෙලාවට දැනිලා ඇති හීනෙන් කොහෙහරි උඩක ඉඳලා එක පාරට වැටෙනවා. ඒ වෙලාවට අපිව එක පාරට ගැස්සිලා ඇහැරෙනවා. එහෙම නැත්තං කවුරුහරි කකුලෙන් එක පාරට අදිනවා හරි උස්සල පොළොවෙ ගහනව වගේ දැනිල ඇති. එතකොටත් ගැස්සිලා ඇහැරෙනවා. නැගිටල බැලුවම කවුරුත් නෑ. ලේසියටයි නොදන්නකමටයි අපි මේවා භූත බලවේග වලට බාරදෙනවා. ඒත් මෙතන ඇති භූතයෙක් නම් නෑ.

     එහෙනම්??



අපිට හීන පේන REM sleep එකේදි අපේ හෘදස්පන්දනය හා ශරීර උෂ්ණත්වය ඉතාම පහතට වැටෙනවා කියල මම කලින් කිව්වනෙ. ඉතින් ඔය අවස්ථාවෙදි අපේ මොළයට හිතාගන්න බැරිවෙනවා අපි නිදිද නැත්තං මැරිලද කියලා. ඉතින් ඒක පරික්ෂා කරගන්න මොළය කරන්නෙ ශරීරයට false signal එකක් එවලා ඒ signal එකට ශරීරය ප්‍රතිචාර දක්වනවද කියලා බලන එක. ඒ සිග්නල් එකට තමයි ඔය අපිව ගැස්සෙන්නෙ. දැන් පැහැදිලියිනෙ හිටපු භූතයා කවුද කියලා.

Lucid Dreaming

හීන කියන මාතෘකාවෙ තියෙන වැදගත්ම දෙයක් තමයි මේ ලුසිඩ් ඩ්‍රීම්ස් කියන්නෙ. Lucid dreams ඉතාම තාත්විකයි. කොච්චර තාත්විකද කියනව නම් ඔයාට හිතාගන්න බෑ ඔයා මේ ඉන්නෙ හීනෙකද හැබෑ ලෝකෙද කියලා. ඒක තහවුරු කරගන්න පුංචි වැඩ ටිකක් කරන්න පුළුවන්. එකක් තමයි තමන් මේ ඉන්න තැනට ආවෙ කොහොමද කියල හිතන එක. හිතන්නකො ඔයා රේල් පාරක් උඩ හිටගෙන ඉන්නවා. ඔයාට තියෙන්නෙ ඔයා මෙතනට ආවෙ කොහොමද කියලා ආපස්සට හිතන්නයි. ඔයා හීනෙක නම් ඉන්නෙ, ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරයක් නෑ. එතකොට ඔයාට තේරුම්ගන්න පුළුවන් ඔයා මේ ඉන්නෙ හීනයක් ඇතුලෙ කියලා. තව ක්‍රමයක් තමයි අත්ල දෙස බලන එක. ඔයා හීනයක් ඇතුලෙ ඉන්නව නම් ඔයාට අතේ රේඛා වගේ දේවල් පැහැදිලිව පේන්නෙ නෑ. Details ගොඩක් අඩුවෙන් පේන්නෙ. සමහරවිට ඇඟිලි ඇද වෙලා පෙනෙයි. එතකොට ඔයාට තේරුම්ගන්න පුළුවන් ඔයා මේ ඉන්නෙ හීනෙක කියලා.

ඒත් ඉතින් හීනෙදි ඔහොම අපිට ඕන ඕන දේවල් කරන්න බෑනෙ. අන්න ඒකයි lucid dreams වල විශේෂත්වය. මේකෙදි අපිට කැමති ඕන දෙයක් කරන්න පුළුවන්. පියාඹන්න ආස නම් ඒකට කිසිම බාධාවක් නෑ. මොකද මේ හීන ලෝකෙ පරිසරය තනිකරම තියෙන්නෙ ඔයාගෙ පාලනය යටතේ. කැමති දෙයක් ගොඩනගන්න, කැමති දෙයක් කරන්න කිසිම බාධාවක් නෑ.



හැබැයි ඉතින් lucid dreamer කෙනෙක් වෙන්න නම් ලේසි නෑ. ඒකට තරමක පුහුණුවක් අවශ්‍යයි. අපි නිදාගෙන අවදි වෙද්දිම අපිට අපි දැකපු හීන වලින් 50%ක් විතර අමතකයි. ඇහැරිලා පළවෙනි විනාඩි 15 වගේ ඇතුලත හීනෙන් 90%ක් 95%ක්ම අමතක වෙනවා. ඉතින් අපි කරන්න ඕනෙ අවදිවුන ගමන්ම ඉක්මණට දැකපු හීනය පොතක ලියන එක. මේ පොතට Dream Journal කියලයි කියන්නෙ. මේක ඇඳ ලඟින්ම තියාගන්න. හැමදාම නින්දට කලින් පොත අරන් කලින් දවසෙ දැකපු හීනය හොඳට කියවන්න. ඊට පස්සෙ ඒ හීනයටම ආපහු ඇතුළුවෙන්න උත්සහ කරන්න. කාලයක් පුහුණු වුණාම ඔයාට පුළුවන් ඔයාගෙ හීන වල පාලනය ඔයාගෙම අතට ගන්න. හීන ලෝකෙදි කාලය ගතවෙන වේගය වෙනස් නිසා විනාඩි 5ක 10ක හීනයක් ඇතුලෙ ඔයාට පැය ගානක් වුණත් ගතකරන්නත් පුළුවන්.

හීනයක් තුල හීනයක්..

හිතන්න ඔයා හීන ලෝකෙදි නිදාගන්නවා. දැන් ඔයා හීනයක් දකිනවා. හරියටම බැලුවොත් ඔයා මේ දකින්නෙ හීනයක් ඇතුලෙ තියෙන තවත් හීනයක්. ඔයා එක පාරක් අවදිවුණාට වැඩක් නෑ ඔයා තාමත් ඉන්නෙ හීනයක් ඇතුලෙ නිසා. දෙපාරක් අවදි වෙන්නම වෙනවා. මේක අත්දැකපු අය නම් සෑහෙන්න අඩුයි. ඒ වගේම මේක හේතුවක් හොයාගෙනත් නෑ.

හැබැයි මේ lucid dreaming සහ හීනයක් තුල හීනයක් කියන සංකල්පය යටතේ හැදුන අති විශිෂ්ට චිත්‍රපටයක් නම් තියෙනවා. හීන ලෝකය ගැන කුතුහලයක් ඇතිවුණා නම් මේ චිත්‍රපටය ඔයා බලන්නම ඕන. මේකෙ නම තමයි Inception. මේක 2010දි තිරගත වුණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය ක්‍රිස්ටෝපර් නෝලන්ගෙන්. ප්‍රධාන නළුවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ. එහෙම කිව්වම දන්න අය දන්නවා මේක කොච්චර සුපිරි චිත්‍රපටයක් වෙන්න පුළුවන්ද කියන එක. හීන ලෝකෙ ගැන කිව්වට මේක සුරංගනා චිත්‍රපටයක් නම් නෙමෙයි..


-Inception 2010-

ලියනාඩෝ සහ ඔහුගේ කණ්ඩායම සිහින සොරුන්. ඔවුන් නිර්මාණය කරපු යන්ත්‍රයට පුළුවන් යම් පිරිසකට තවත් කෙනෙකුගේ හීනයක් තුලට ඇතුළුවෙන්න. ඊට පස්සෙ ලුසිඩ් ඩ්‍රීමිං වලින් ඒ හීනෙ අයිතිකාරයගෙ සේප්පු අංක වගේ දේවල් හොයාගෙන සැබෑ ලෝකයෙදි ඇත්තටම ඒ සෙප්පුව මංකොල්ල කනවා. සමහර වෙලාවට හීනයක් ඇතුලෙ හීනයකට යන්නත් වෙනවා. ඔය වගේ වැඩ තමයි මෙයාලගෙ බිස්නස් එක.

හැබැයි දවසක් ටිකක් අමාරු වැඩක් එනවා. මේකට මෙයාලට හීනයක් ඇතුලෙ තියෙන හීනයක් ඇතුලෙ තියෙන තවත් හීනයකට, යන්න වෙනවා. වැඩේ ගැස්සුනොත් කවදාවත් අවදිවෙන්නෙ නෑ. නමුත් වැඩේ අතරමගදි ලියනාඩෝට තවත් එක මට්ටමක් ගැඹුරට යන්න ඒ කියන්නෙ මේ ඉන්න හීනය ඇතුලෙත් තව හීනයකට යන්න සිදුවෙනවා. එතනින් එහාට මම කියන්නෙ නෑ. මේක ප්‍රසිද්ධ සම්මානනීය චිත්‍රපටයක් නිසා ගොඩක් අය බලලත් ඇති. බලපු නැති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යයෙන්ම බලන්න කියලත් අවසන් වශයෙන් ආරාධනා කරන්න කැමතියි.


- Rehan Mendis

අනෙක් ලිපි සඳහා -> https://diaryofrehan.blogspot.com




References :

https://www.dreams.co.uk
https://www.tapoos.com
https://www.feedfond.com
https://www.webmd.com/sleep-disorders/guide

Comments

  1. I really enjoyed your articles Rehan... keep it up

    ReplyDelete
  2. හිනයකින් තවත් හිනයන් වලට ගිය අත්දැකීම් මටත් තියෙනවා එක අමුතුම අත්දඅත්දැක්, ොඩක් වටින ලිපියක් තවත් මෙවැනි දෑ ලියන්න.

    ReplyDelete
  3. Oya film eka download kara ganna link ekak thiyemawanam dannako

    ReplyDelete
  4. 😕hinayak athule hinayak dakinna asai 😐😐 anith ewa nam.mata ona tharam wela tiyanawa henama athal habei hina dakina eka 😂

    ReplyDelete
    Replies
    1. හීනයක් ඇතුලෙ හීනයක් නම් මමත් දැකල නෑ. සමහරවිට දැකල අමතක වෙලාද දන්නෙත් නෑ 😂

      Delete
  5. Mama samahara dawas walata kalin dekapu hineka ituru kotasata balenma hitala gihin tiyenawa.eeka venama atdekimak

    ReplyDelete
    Replies
    1. ඒකට මොළය පුහුණු කරපු කෙනෙකුට ඒක ලේසියෙන් කරන්න පුළුවන්. අත්දැකීම බෙදාගන්න කැමති නම් ගොඩක් වටිනවා 👍

      Delete
  6. ඕහ් නියමයි ඔය වගේ අත්දැකීම් මටත් තියෙනවා..දිගටම ලියන්න

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මටත් තියෙනව හීනයක් ඇතුළෙ හීනයක් සහ ඊයෙ බලපු හීනෙ පාර්ට් 2 එක අද ගිහින් බලපු අත්දැකිම් 3,4ක් ම

    ReplyDelete
  9. Matath wela tinawa 🙄 hinayak athule hinayak dakala tinawa , thawa hinen ra dakina dewal pahuwadata wela tinawa , samahara welawata phuwadata une nathath daws 4/5 kin wage wenawa 🤔me lagadith ehma unaneh 😶💣💥

    ReplyDelete
  10. ඇත්තටම මටත් ලගදී හීනයක් ඇතුලේ හීනයක් දැක්කා. ඔයාගේ ලිපි නම් සහතික ඇත්ත. මං මේ ඔයාගේ ලිපි කිහිපයක් කියවලයි මෙහෙම රිප්ල්‍යයි එකක් දැම්මේ.

    මට දැන ගන්න පුලුවන්ද සිත ගැන. යම් කෙනෙක් සිතුවොත් ඒක ඒ විදිහටම වෙන්නේ ඇයි.

    උදා, විදිහට යම් පුද්ගලයෙක් සිතනවා ඉදිරියෙන් ඔහුව අනතුරකට පත් වෙයි. ඒ වගේම ඔහුට ඒ දේ වෙනවා. මෙන්න මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය