ඉතිහාසයේ පැටළුණු කාල නිර්ණය


අපේ පෘථිවියේ වයස මේ වෙනකොට අවුරුදු බිලියන 4.54 ක් විතර. ඔය දීර්ඝ ඉතිහාසය පුරාවට ගොඩක් රසවත් සිදුවීම් අපේ ලෝකයේ සිදුවුණා. හැබැයි අපි අහන දකින දේවල් එක්ක ඔය ඉතිහාසයේ සමහර සිදුවීම් වල කාල නිර්ණයන් අපි ගොඩක් පටලගෙනයි ඉන්නෙ. ඒ කියන්නෙ ඒ දේවල් වෙලා තියෙන්නෙ අපි හිතන් හිටපු කාලයේ නෙමෙයි. ඊට වෙනස්ම කාලයක. මේ සූදානම එහෙම පටලගත්ත කාල නිර්ණයන් කිහිපයක් නිරවුල් කරගන්නයි.



1) ක්ලියෝපැට්රා




ලෝකෙ පරණම ශිෂ්ඨාචාරයක් තමයි නයිල් ගඟ පාදක කරගෙන බිහිවුනු ඊජිප්තු ශිෂ්ඨාචාරය. මේ ශිෂ්ඨාචාරයේ ඉතිහාසය ක්‍රි.පූ. 3100 තරම් ඈතට යනවා. ඒ තරම් පරණයි. ඊජිප්තු ශිෂ්ඨාචාරයේ හිටපු ශ්‍රේෂ්ඨ රැජිනක් කිව්වම අපි හැමෝටම එක පාරට මතක් වෙන්නෙ ක්ලියෝපැට්රා රැජින. හැබැයි ඉතින් ක්ලියෝපැට්රා ජීවත් උනේ ක්‍රි.පූ 69ත් ක්‍රි.පූ. 30ත් අතර තරම් මෑත කාලයේ.

එහෙම බැලුවම ක්ලියෝපැට්රාගේ ඉඳල ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට තියෙන කාලය අවුරුදු 3000කටත් වැඩියි. හැබැයි ක්ලියෝපැට්රාගෙ ඉඳලා වර්තමානය දක්වා කාලය අවුරුදු 2048ක් විතරයි. ඒ කියන්නෙ ක්ලියෝපැට්රා, ඊජිප්තු ශිෂ්ඨාචාරයේ අරම්භයට වඩා අපිට ලඟයි. තව ටිකක් තේරෙන්න කිව්වොත් ක්ලියෝපැට්රාට පිරමිඩ් වලට වඩා ලඟයි ස්මාට් ෆෝන් එක..



2) ගීසා පිරමිඩ්

ගීසා පිරමීඩ ගැන අහල තියෙනවද? නයිල් ගඟේ බටහිර ඉවුරේ වර්තමාන කයිරෝවේ පිහිටා තිබෙන මේ පිරමීඩ 3 ලෝකයේ විශාලම පිරමීඩයි. ඒ වගේම මේවා දළ වශයෙන් අවුරුදු 4000ක් විතර පරණයි.




ඒ වගේම ඈත අතීතයේ පෘථිවියේ තිබුණ මහා හිම යුගය ගැන හැමෝම අහල ඇතිනෙ. අඩු තරමෙ Ice age චිත්‍රපටය වත් බලල ඇතිනෙ. ඉතින් මැමත් ගැන නම් නොදන්න කෙනෙක් ඉන්න බෑ. මැමත් කියන්නෙ අවුරුදු දහස් ගානකට පෙර මිහිමතින් සම්පූර්ණයෙන් වඳවී ගිය සතෙක් බවත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.




ඒත් දන්නවද ලෝකෙ අන්තිම මැමත් මියයනකොට ගීසා පිරමීඩ හදලා ඉවර වෙලත් ගොඩක් කල් බව?





3) ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ආරම්භ කරේ 1096 අවුරුද්දෙ. ඒ කාලෙ බොහොම පොඩියට පටන්ගත්ත මේ විශ්වවිද්‍යාලය අද වෙනකොට ලෝකයේ අතිශය කීර්තිමත් දැවැන්ත විශ්වවිද්‍යාලයක්.




එතකොට පුරාණ මායා ශිෂ්ඨාචාරයෙන් පසුව බිහිවුණ ඇස්ටෙක් අධිරාජ්‍යය ගැන දන්නවද? මේක මධ්‍යම හා දකුණු ඇමරිකාවේ බිහිවුණ පැරණි අධිරාජ්‍යයක්.
වර්තමාන මෙක්සිකෝව කේන්ද්‍ර කරගෙන තමයි මේ බලවත් අධිරාජ්‍යය පැතිරුණේ. හිරු හා සඳු වෙනුවෙන් තැනුණු ඇස්ටෙක් පිරමීඩ වල නිරන්තරයෙන් සිදුකෙරුණු මිනිස් බිලි පූජා පවා එකළ සාමාන්‍ය දේවල්.




ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඇස්ටෙක් අධිරාජ්‍යය..

මේ දෙකෙන් වැඩිපුර පරණ මොකක්ද? උත්තරේ තමයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය.
ඇස්ටෙක් ශිෂ්ඨාචාරය බිහිවෙනකොටත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඇරඹ්ලා වසර 250ක් විතර ගතවෙලා ඉවරයි.



4) හාවඩ් විශ්වවිද්‍යාලය හා කලනය




ගණිතයේ මූලික හා පැරණිතම සංකල්පයක් වන කලනයට වඩා හාවඩ් විශ්වවිද්‍යාලය පරණයි. හිතුවෙ අනිත් පැත්ත නේද?



5) Marilyn Monroe

සුප්‍රකට නිළියක්, නිරූපිකාවක් සහ ගායිකාවක් වුණු මැරිලින් මොන්රෝ ගැන අහල ඇතිනෙ. මෙයා 1926 ඉපදිලා 1962 මියගියා. මේ ඉන්නෙ එයා.




එතකොට ගලේ ගැහුවත් මැරෙන්නෙ නැති කෙනෙක් කිව්වම කාවද මතක් වෙන්නෙ? නෑ නෑ ලංකාවෙ දේශපාලකයෙක් නෙමෙයි. මේ කියන්නෙ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ගැන.




මේ දෙන්නගෙන් වැඩිපුර පරණ ඇත්තෙ කවුද? වෙන වෙලාවක ඇහුව නම් ඩෝං ගාලා කියයි එලිසබෙත් රැජින කියලා. හැබැයි මේ ලිපිය මුල ඉඳල කියවපු නිසා දැන් දන්නවා වැඩිපුර වයස මොන්රෝට කියලා. එහෙම නේද?

නෑ මේ දෙන්නම එකම වයසෙ..  :D


-Marilyn Monroe meets Queen Elizabeth II at the Royal Film Performance in London-



6) T-Rex

ජුරාසික් පාක් වගේ ඩයිනෝසර් චිත්‍රපට වල හිටපු මිනී කන T-Rex ඩයිනෝසර් මතකද? මේ එයා.




එතකොට ඊළඟ පින්තූරෙ ඉන්නෙ ශාක භක්ෂක බ්‍රැකියොසෝරස් කියන ඩයිනසෝර්.




ඕනම ඩයිනෝසර් චිත්‍රපටයක මේ දෙන්නා වරදින්නෙ නෑ. දෙන්නම අනිවාර්යයෙන් ඉන්නවා. හැබැයි දන්නවද කවදාවත් මේ දෙන්නම එකම කාලයේ හිටියෙ නැති බව?




බ්‍රැකියොසෝරස් වඳවෙලා ගිහින් අවුරුදු මිලියන 78කට පස්සෙයි ටීරෙක්ස්ලා බිහිවුණේ. එහෙම බැලුවම කාල නිර්ණය අනුව brachiosaurusලට වඩා T-Rexලා කිට්ටු අපිට. හිතාගන්න පුළුවන්නෙ ජුරාසික් යුගය කොයි තරම් දීර්ඝද කියලා.
(මෙයාලගෙ විනාශය ඇතුළු පෘථිවියේ මහා නෂ්ඨ වීම් 5 ගැන ලිපිය මෙතනින් කියවන්න)



7) මිනිස් ඉතිහාසය


විශ්වයේ ඉතිහාසයට සාපේක්ෂව මානව ඉතිහාසය කොච්චර දිගයි කියලද හිතන්නෙ? විශ්වයේ මුළු ඉතිහාසයම සම්පිණ්ඩනය කරලා ධාවන කාලය අවුරුද්දක් තරම් දිග චිත්‍රපටයක් හැදුවා කියල හිතමුකො. ඔය අවුරුද්දක් දිග චිත්‍රපටයේ අපිට මිනිස්සු දකින්න ලැබෙන්නෙ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 11.59ට විතර. මිනිස්සු ඒ තරම් පොඩි කාලයක් විතරයි මේ ලෝකෙ ජීවත් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ විශ්වයේ මුළු ආයු කාලයෙන් 0.004%ක කාලයක් විතරයි මිනිස්සුන්ට අයිති. මේක මහාචාර්ය කාල් සේගන්ගෙ ගණනය කිරීමක්






8) අපි

2040 වෙනකොට පෘථිවිය මොන වගේ තියෙයිද?




එච්චර කාලයක් ඉස්සරහට මොනව වෙයිද කියල එක පාරට හිතාගන්න අමාරුයි නේද? නිකමට ගාන හදල බලන්නකො 2040 අපි හිතන තරම් දුරද කියලා.


අපිට 1990ට වඩා ලඟයි 2040!


දැන් 2019 කියල ගත්තොත් 2019 ඉඳලා 1990ට අවුරුදු 29ක් දුරයි. හැබැයි 2019 ඉඳල 2040ට තියෙන්නෙ අවුරුදු 21ක් විතරයි. කොහොමද නොදැනීම කාලය ගතවෙලා තියෙන ඉක්මණ?


- Rehan Mendis


වෙනත් ලිපි සඳහා -> 
https://diaryofrehan.blogspot.com


Comments

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය