විශ්වයේ ආරම්භය සජීවීව දකින ජේම්ස් වෙබ් James Webb


මෑත ඉතිහාසයේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධව සිදුකල විශිෂ්ටතම සොයාගැනීම හැටියට පසුගියදා ගැනුනු කළු කුහරයක accretion disk එකේ ඡායාරූපය අපිට සලකන්න පුළුවන්. හැබැයි අපි අද මේ කතා කරන්න යන්නෙ ඊට වඩා ගොඩාක් ලොකු සොයාගැනීමක් ගැන. මේක තමයි අභ්‍යවකාශ තාක්ෂණයේ එදා මෙදාතුර මිනිසා පනින ලොකුම පිම්ම. මේකත් එක්ක සසඳනකොට සඳ ගමන පවා එච්චර ලොකු දෙයක්ද කියල ආපහු හිතන්න වෙයි. මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය ගැන..





මේ කතාව මට දෙපැත්තකින් ඇවිත් තමයි පැහැදිලි කරන්න සිද්ධවෙන්නෙ.


අපිට ආලෝකවර්ෂ 10ක් දුරින් තරුවක් තියෙනවා කියල උපකල්පනය කරන්නකො. එතකොට ඒ තරුවෙ ආලෝකය අපිට ලැබෙන්න අවුරුදු 10ක් යනවා. ඒ කියන්නෙ අපි අද දකින්නෙ ඒ තරුව අවුරුදු 10කට කලින් නිකුත් කරපු ආලෝකය. සරලවම කිව්වොත් අපි මේ දකින්නෙ අවුරුදු 10කට කලින් ඒ තරුව තිබුණ හැටි.

තවත් විදිහකට කිව්වොත්...

අපිට ආලෝක වර්ෂ 10ක් දුරින් තියෙන වස්තුවක් දකින්න පුළුවන් නම් අපි ඒ දකින්නෙ ඒ වස්තුවේ අවුරුදු 10ක් අතීතය..

අපිට ආලෝක වර්ෂ 55ක් දුරින් තියෙන වස්තුවක් දකින්න පුළුවන් නම් අපි ඒ දකින්නෙ ඒ වස්තුවේ අවුරුදු 55ක් අතීතය..

අපිට ආලෝක වර්ෂ බිලියන 13ක් දුරින් තියෙන වස්තුවක් දකින්න පුළුවන් නම් අපි ඒ දකින්නෙ ඒ වස්තුවේ අවුරුදු බිලියන 13ක් අතීතය..

ඔන්න ඔය ටික මතක තියාගෙන කතාවෙ ඉස්සරහට යමු..




විශ්වය බිහිවෙනකොට මුල්ම කාලෙ තිබුණෙ තනිකරම උණුසුම් ප්ලස්මාවක් හැටියට තිබුණු උප පරමාණුක අංශු සාගරයක්. පස්සෙ ඒවා ටික ටික එකතු වෙලා විශ්වයේ සරලම මූලද්‍රව්‍යය හැදුනා. ඒ තමයි හයිඩ්‍රජන්. මෙහෙම හැදුන යෝධ හයිඩ්‍රජන් වළාකුළු විශ්වය පුරාම තිබුණා. ඔහොම විශාල කාලයක් ගෙවුනා. ඊට පස්සෙ ඒවා තැන තැන ගුරුත්වය යටතේ එකතු වෙලා දැවැන්ත සංශුද්ධ හයිඩ්‍රජන් තරු බිහිවුණා. ටික ටික අස්ථායි වෙලා මේ හයිඩ්‍රජන් තරු පුපුරලා ඒ පිපිරීමෙන් ඇතිවුණ අධික පීඩනය යටතේ හයිඩ්‍රජන් අයන එකතු වෙලා හීලියම් මූලද්‍රව්‍යය හැදුනා.


කාලයක් මෙහෙම ගුරුත්වය යටතේ තැන තැන එකතු වෙලා විශ්වයේ හැමතැනම හයිඩ්‍රජන් හා හීලියම් තරු බිහිවෙන්න පටන්ගත්තා. ඔන්න තාමත් විශ්වයේ වෙනත් මූලද්‍රව්‍ය නෑ. ඔව් වෙන කිසිම මූලද්‍රව්‍යයක් විශ්වයේ නෑ!


අති විශාල කාලයක් පුරාවට ඔය තරුත් පුපුරල තමයි ටික ටික විශ්වයේ අපි දන්න හැම මූලද්‍රව්‍යයක්ම හැදුනෙ. අද අපි දකින හැම දෙයක්ම විතරක් නෙමෙයි ගහකොල, පස්, අපේ ඇට මස් ලේ පවා අවුරුදු බිලියන ගානකට කලින් ඔය තරුවක කොටසක් වෙලා තිබිල තියෙනවා. අන්න ඒකයි කියන්නෙ අපි හැදිල තියෙන්නෙ තරු වල දූවිලි වලින් කියලා..


ඔහොම බිහිවුණ තරු ටික ටික පොකුරු හැදිලා මන්දාකිණි හැදෙන්න ගත්තා. බහුලව ඉලිප්සාකාර, ස්පයිරල් හැඩ වලිනුත් (සහ ඉතා......ම කලාතුරකින් ඔය දෙකේ එකතුවක් හැටියට). අන්තිමට මන්දාකිණි පොකුරු හැදුනා, ග්‍රහ ලෝක හැදුනා, තරු වටේට ග්‍රහ පද්ධති සහ අන්තිමටම ජීවය ඇතිවුණා.




ඔය ඔක්කොම වසර බිලියන 13.8ක් පුරාවට සිද්දවුණ දේවල් (අපේ විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක්). ඉතින් කතාව ආරම්භයේදිම කිව්ව වගේ අපිට ආලෝක වර්ෂ බිලියන 13.8ක් දුර තියෙන තරුවක් දිහා බලාගන්න පුළුවන් උනා නම් අපිට එතකොට පේන්නෙ වසර බිලියන 13.8කට පෙර අතීතයනෙ. ඒ කියන්නෙ අපිට එතකොට පේන්නෙ අර සංශුද්ධ හයිඩ්‍රජන් තරු තිබුණ කාලෙ. ඒ කියන්නෙ විශ්වයේ මුලම කාලෙ. අපිට පේන්නෙ විශ්වය බිහිවෙන හැටි!






වැඩේ කියන්නෙ ආලෝක වර්ෂ මිලියන 55ක් දුර තියෙන කලු කුහරය බලාගන්නත් ඔච්චර අමාරු වුණ එකේ ආලෝක වර්ෂ බිලියන 13.8ක තරම් විශාල දුරක් මොකෙන් බලාගන්නද?

- මිනිසා විසින් ප්‍රථම වරට ඡායාරූපගත කරන ලද ආලෝක වර්ෂ මිලියන 55ක් දුරින් පිහිටි කලු කුහරයක accretion disk එක (2019) -


මේකට තමයි ජේම්ස් වෙබ් James Webb ටෙලස්කෝප් එක හදන්නෙ. මේක මානව ඉතිහාසයේ කරන පිස්සු හැදෙන අති දැවැන්තම නිර්මාණයක්. මේකෙන් ඔය තරම් දුරක් බලාගන්න පුළුවන්. ඒ කියන්නෙ මේකෙන් අපිට අවුරුදු බිලියන 13කට විතර කලින් විශ්වය නිර්මාණය වෙන හැටි ලයිව් බලාගන්න පුළුවන්. විශ්වයේ ආරම්භයේ ඉඳලම!


කොහොමද වැඩේ?




හැබැයි ඉතින් බලාගන්න පුළුවන් කිව්වට පොඩී වෙනසක් තියෙනවා. විශ්වය ඉතාම වේගයෙන් ත්වරණයකින් යුතුව ප්‍රසාරණය වෙන බව දන්නවනෙ? ඉතින් අර ඈත තියෙන අපි බලන වස්තූන් ටිකත් ඉතාම වේගයෙන් අපෙන් ඈත් වෙනවා. AL physics කරපු කෙනෙක් නම් ඩොප්ලර් ආචරණය මතක ඇති. ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඈත් වෙද්දි සංඛ්‍යාතය අඩු වෙනවා. එතකොට වෙන්නෙ අර ඈත ඉඳල එන ආලෝකයේ සංඛ්‍යාතය ටික ටික අඩු වෙලා අන්තිමට දෘෂ්‍ය පරාසයටත් වඩා අඩුවෙලා අධෝරක්ත (infrared) පරාසයට වැටෙනවා. හරියටම කිව්වොත් 0.6 µm (තැඹිලි පාට) සහ 28.5 µm (අධෝරක්ත) අතර තරංග ආයාම වලට. ඒක නිසා ජේම්ස් වෙබ් එක හදල තියෙන්නෙ අන්න ඒ සංඛ්‍යාත පරාසයට සංවේදී වෙන විදියටයි.




මේක ගොඩක් කාලයක් තිස්සෙ ඇදි ඇදි ආපු ප්‍රොජෙක්ට් එකක්. මොකද වැඩේ පොඩ්ඩක් ගැස්සුනොත් මුළු ව්‍යාපෘතියම වතුරෙ. හබල් දුරේක්ෂය වගේ පස්සෙ හදන්න බෑ මේක (හබල් දුරේක්ෂයේ තිබුණ නිෂ්පාදන දෝෂය පිළිසකර කරපු හැටි අහල ඇතිනෙ). 2016 වෙනකොට විතරක් මේකට ගිහින් තිබුණ වියදම ඇමරිකන් ඩොලර් බිලියන 10ක් (රුපියල් ට්‍රිලියන 2කට ටිකක් අඩුවෙන්. හැබැයි ඉතින් ලංකාව මේ වගේ 5 ගුණයක මුදලක් පිටරට වලට ණය බවත් අමතක කරන්න එපා). ඒ වගේම මේක තියෙන දුරත් එක්ක ගගනගාමියෙක්ට ගිහින් දෝෂ පිළිසකර කරන්නත් බෑ. ඉතින් පොඩි තැනක් වැරදුනත් ව්‍යාපෘතියම අතඇරල දාන්නයි වෙන්නෙ.




මේක ස්ථානගත කරන්නෙ පෘථිවිය හා ඉර අතර ගුරුත්වාකර්ෂණය neutral වෙන පොයින්ට් එකක. ඒ කියන්නෙ L2 වල. Lagrange Points කියල හැඳින්වෙන මේ වගේ පොයින්ට්ස් 5ක් අපියි ඉරයි අවට තියෙනවා. L2 තමයි මේ වැඩේට තෝරගෙන තියෙන්නෙ.

- Lagrange Points -


මේකෙ මිරර් එක ටෙනිස් පිට්ටනියක් තරම් විතර ලොකුයි. හැබැයි තනි mirror එකක් නෙමෙයි. ෂඩස්‍රාකාර mirrors 18ක් එකතු කරලයි තියෙන්නෙ. හැම එකක්ම බෙරිලියම් වලින් හදලා රත්තරන් ආලේප කරලයි තියෙන්නෙ. ඔක්කොම කෑලි ටික අකුලලයි යවන්නෙ. කක්ෂයට ලං වෙද්දි කුඩේ වගේ ටික ටික හැමදේම දිග ඇරෙනවා. එක තැනක් වැරදුනොත් මුළු ටෙලස්කෝප් එකම අපරාදෙ. ඒ නිසා ගානට නූලට දශමෙටම බලලයි යවන්නෙ. ඒක නිසයි මෙච්චර පරක්කු. හරි නම් මේක 2018 යවන්න තිබ්බෙ. දැන් 2021 මාර්තු 30 ලු. සමහරවිට ඊටත් පරක්කු වෙයි
.



මේක හදන්නෙ NASA, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හා කැනේඩියානු අභ්‍යාවකාශ ඒජන්සිය එකතු වෙලා. මේ දුරේක්ෂයේ ස්කන්ධය මෙට්‍රික් ටොන් 6.5ක්. ජේම්ස් වෙබ් කියන නම අරන් තියෙන්නෙ ඇපලෝ මිෂන් එක කාලෙදි නාසා එකේ හිටපු CEOගෙ නමින් (හැබැයි හඳට ගොඩ බහින්න මාස කිහිපයකට කලින් එයා විශ්‍රාම ගියා).


- James W. Webb -

කොච්චර පරක්කු වෙලා හරි වැඩේ සාර්ථක වුණොත් නිසැකවම මේක මිනිස් අභ්‍යවකාශ තාක්ෂණ ඉතිහාසයේ එදා මෙදාතුර දැවැන්තම පිම්ම වෙයි..

- රෙහාන් මෙන්ඩිස්

අනෙක් ලිපි සඳහා -> https://diaryofrehan.blogspot.com


UPDATE
ජේම්ස් වෙබ් රැගත් රොකට්ටුව 2021 දෙසැම්බර් 24 දින, එනම් මේ ලිපිය ලියා වසර 3කට ආසන්න කාලයකට පසුව අභ්‍යාවකාශගත කෙරුණා. මෙහි සාර්ථකත්වය ගැන ඉදිරි ලිපි වලින් දැනුවත් කරන්නම්.


Comments

  1. මට හිතෙන්නෙ මේක නම් නිශ්ඵල වැඩක්. මොකද විශ්වය කියන්නේ අපරිමිත නියැදි අවකාශයක්. අපරිමිත නියැදි අවකාශයක ඕනෑම තැනකින් Samples ගන්න පුලුවන්. ඒත් ඒක මිනිසා විසින් kg,m,t වැනි සාපේක්ෂකයක් යොදා නිර්මාණය කරන ලද M(Mass),L(Length),T(Time) යන මානවලින් මිණුම් කරන්න බෑ. මොකද අපරිමිත දෙයක මාන නිර්මාණය කිරීම සඳහා සාපේක්ෂක යොදා ගන්න බෑ. මෙතනදි ඔයා සඳහන් කරපු උප පරමාණුක අංශුවලින් සමන්විත ප්ලාස්මාවකින් විශ්වය බිහිවුනා නම් ඒ ප්ලාස්මාව ඇති වුනේ කෙසේද? මොකද අර්ථ දැක්වීමක් සාධාරණ විය යුතුයිනෙ. ඒ කියන්නේ විශ්වය බිහිවීමට හේතු වූ ප්ලාස්මාව ඇතිවූ අයුරැත් පැහැදිලි කළ හැකිවිය යුතුයි. නැතිනම් ඒක මැවුම්වාදයක් වෙනවා නෙ.

    ඇත්තටම ඔතන වෙලා තියෙන්නේ විශ්වය විෂයෙහි T(කාලය) යනුවෙන් මානයක් සත්‍යවශයෙන් ම නොපැවතීම. කාලය යනුවෙන් මානයක් නොපවතින නිසා විශ්වය විෂයෙහි ආරම්භය හා අවසානය කියල දෙයක් නෑ(සැබවින්ම කාලය යනු මිනිසාගේ මනස තුල පවතින සංකල්පයක් පමණයි). ඒ නිසා "විශ්වයේ ආරම්භය කුමක්ද?" යන ප්‍රශ්නය ම වැරදියි.

    අනික තමයි Physics කියන්නෙ M,L,T මාන මත පදනම් වූ Subject එකක්. Physics වල ඇති සියලුම සමීකරණත් M,L,T මාන වලින් ව්‍යුත්පන්න වන ඒවායි. ඒ නිසා කවදාවත් Physics වලින් අපරිමිත විශ්වයේ ආරම්භය පිළිබඳව සාධාරණ අර්ථ දැක්වීමක්(Definition එකක්) දෙන්න බෑ.
    විශ්වයේ ආරම්භය පිළිබඳව ඇති Big bang theory ඇතුලු සියලුම භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයන් අද දක්වාම උපකල්පන මත පදනම් වූ කල්පිතයන් ලෙසින්ම පවතින්නේ ද Time traveling වැනි සංකල්පවලදී දිගින් දිගටම Time paradox ඇතිවන්නේ ද විශ්වයේ ආරම්භය යනු ලොව බරපතල ම Paradox එක වී ඇත්තේ ද විශ්වය විෂයෙහි කාලය යනුවෙන් මානයක් ⁣සත්‍යවශයෙන්ම නොපවතින නිසාය. යම් පුද්ගලයෙකු දිගින් දිගටම M,L,T මාන යොදා ගනිමින් විශ්වයේ සම්භවය පිළිබඳව අර්ථ දැක්වීමට උත්සාහ කළහොත් ඔහුගේ මනස තුල paradox අතිවිශාල ගණනක් ඇති වී අවසානයේ එම පුද්ගලයා උන්මත්තක භාවයට පත් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ ප්‍රශ්ණයක්...

      Delete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය