අරාබි තෙල් - Arabian Oil

පහුගිය දවස් වල සිදුවුණ පාස්කු ප්‍රහාරයත් එක්ක සිංහල දෙමළ ජනතාව විශාල වශයෙන් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න පටන්ගත්තනෙ. ඒ වෙලාවෙ මුස්ලිම් අයගෙ සහ ඇතැම් සිංහල අයගෙ උත්තරයක් වුණේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරනව නම් මුස්ලිම් අරාබියේ තෙලුත් වර්ජනය කරන්න කියන එක. ඒ තර්කය හරිද? මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලන්නයි අද අපේ සූදානම.



_________________________________


මුලින්ම අපි බලමු කොහොමද මේ බොරතෙල් කියන දේ ඇතිවුණේ කියලා.

මේක ගැන ලෝකයේ මත 2ක් තියෙනවා.

1. Biogenic : මේකෙදි කියන්නෙ බොරතෙල් නිෂ්පාදනය වුණේ විවිධ ජීවී ද්‍රව්‍ය කාලයක් පුරාවට ජීර්ණය වීමෙන් කියන එක

2. Abiogenic : මේකෙදි කියන්නෙ ජීවී නොවන කාබනික ද්‍රව්‍ය මගින් බොරතෙල් ඇතිවුණා කියන එක. ඒ කියන්නෙ ගිනිකඳු හා භූමිකම්පා වගේ දේවල් නිසා පෘථිවි පෘෂ්ඨයට යටින් තියෙන මැන්ටලය කියන කොටසෙන් එළියට එන වායූන් ඇසුරින් මේ සංසිද්ධිය ඇතිවුණා කියන එක.

හැබැයි වර්තමානය වෙනකොට පොදුවේ පිළිගැනෙන්නෙ අර මුලින් කියපු biogenic මතවාදයයි. ඒ කියන්නෙ ජීවී ද්‍රව්‍ය ඇසුරින් බොරතෙල් නිෂ්පාදනය වුණා කියන එක. දැන් අපි බලමු කොහොමද එහෙම වුණේ කියන එක.

මීට අවුරුදු මිලියන 300කට විතර කලින් ලෝක සිතියම අද අපි දකින ලෝක සිතියමට වඩා ගොඩක් වෙනස්. ඒ කාලෙ මුළු ලෝකෙටම තිබුණෙ එක තනි ගොඩබිමක් විතරයි. මේ සම්බන්ධව ලෝකය පුරාම පිළිගැනෙන්නේ ජර්මන් ජාතික විද්‍යාඥ Alfred Wegener ගෙ පැන්ජියා මතය.


-Alfred Wegener-

_________________________________


මොකක්ද මේ පැන්ජියාව?

අර කියපු තනි විශාල ගොඩබිම් මහද්වීපයේ නම තමයි පැන්ජියාව (Pangea) කියන්නෙ. මේ තියෙන්නෙ ඔය පැන්ජියාවෙ සිතියම




හොඳට බැලුවොත් මේ පැන්ජියාවේ පැත්තකට වෙන්න ගොඩබිමින් වටවුණු විශාල මුහුදක් ඔයාලට පෙනෙයි. මෙන්න මේකට කියන්නෙ ටෙතිස් මුහුද (Tethys Sea) කියලා. 




මුළු පැන්ජියාවම වටකරගත්ත දැවැන්ත මුහුද ඇරුනම ඒ කාලයේ පෘථිවියට මුහුදක් කියල තිබුණෙ ඔය ටෙතිස් මුහුද විතරයි. විශාල ප්‍රදේශයක් ගොඩබිමින් වටවෙලා නිසා මේ ටෙතිස් මුහුදේ සාරවත් බව ඉතාම ඉහළ මට්ටමකයි තිබුණෙ. පෘථිවියේ ලොකුම තල්මස් ගහනය පවා තිබුණෙ මේකෙ. තව ටිකක් තේරෙන්න කිව්වොත් ඉස්සර තල්මසා කියන්නෙ කකුල් 4ක් තිබුණ ගොඩබිම ජීවත්වුණ ක්ෂීරපායි සතෙක්. මේ ටෙතිස් මුහුදේ තිබුණ සාරවත්බව නිසාමයි එයාලා ටික ටික මුහුදට අනුවර්තනය වෙලා අන්තිමට තනිකරම ජලයේ ඉන්න අද තත්වයට පරිණාමය වුනේ.




ඉතින් හිතාගන්න පුළුවන්නෙ ටෙතිස් මුහුද කොයි වගේ තැනක්ද කියලා.

හැබැයි කාලයත් එක්ක මේ හැමෝටම අවාසනාවන්ත කාලයක් උදාවුණා. තනි මහද්වීපයක් හැටියට තිබ්බ පැන්ජියාව ලෝරේෂියා සහ ගොන්ඩ්වානා කියල කොටස් 2කට කැඩෙන්න ගත්තා. 


-ඡායාරූපය අන්තර්ජාලයෙන්-


මේ වෙන්වීමත් එක්ක ටෙතිස් මුහුද ක්‍රමයෙන් පටුවෙන්න ගත්තා. මේ වෙනකොට පොඩි මුහුදු තීරයක් ඇතුලෙ අති විශාල ජීවීන් ප්‍රමාණයක් හිටපු නිසා ටෙතිස් මුහුදෙ ජීවී ඝණත්වය ඉතාම විශාල මට්ටමක් දක්වා පැමිණුනා. අවසානයේ පොළොවේ භූ තැටි වල චලනයන් එක්ක ටෙතිස් මුහුද සම්පූර්ණයෙන්ම වගේ ගොඩබිම් වලින් වැසී ගිහින් අද තියෙන ආකාරයට මහද්වීප වෙන්වෙලා පෘථිවිය නිර්මාණය වුනා.


අර පොළොවේ ගිලීගිය ටෙතිස් මුහුදේ තිබුණ ජීවයට මොකද වුණේ?

ඒ ජීව කොටස් අවුරුදු මිලියන ගානක් පුරාවටම පොළොව යට අධික උෂ්ණත්වයකට හා අධික පීඩනයකට මුහුණදුන්නා. ටිකෙන් ටික ෆොසිල ජීර්ණය වෙන්න ගත්තා. මේ ජීර්ණය වුණ කොටස් බොරතෙල් හා ස්වභාවික ගෑස් බවට පත්වෙලා පාෂාණ වල සිදුරු අතරින් ඉහළට එන්න පටන්ගත්තා. ඔහොම ඉහළට ඇවිත් ඇවිත් මැටි මිශ්‍ර cap stone එකේ වැදිලා නතර වෙනවා. ඔන්න ඔය පාෂාණ කුටීර එනකන් පොළොව හරල තමයි අද අපි බොරතෙල් (Crude oil) හා ස්වභාවික ගෑස් (Natural gas) ලබාගන්නෙ.



හැබැයි බොරතෙල් නිෂ්පාදනය වුණ එකම ක්‍රමය ටෙතිස් මුහුද ඇසුරින් නෙමෙයි.

මතකද මම අර කලින් පෘථිවියේ මහා නෂ්ටවීම් 5 ගැන ලියපු ලිපියෙ තිබුණ පර්මියන් මහා නෂ්ට වීම නැත්තං the great dying සිදුවීම? ඒක වුණෙත් මේ කාලයේ. ඒ ලිපිය කියෙව්ව නම් මතක ඇතිනෙ ඒකෙන් පෘථිවියේ ජීවයෙන් 96%ක්ම සම්පූර්ණයෙන් මියගිය බව. ඉතින් ඒ මහා පරිමාණයෙන් මියගිය ජීව කොටස් ටිකත් මඩ සමග මිශ්‍රව ගංගා දිගේ ඇවිත් සාගර වලට මුසුවුණා. ඒවා මුහුදු පතුලේ අඩි සිය ගාණක් උසට තැන්පත් වුණා. ඒවත් කාලයත් එක්ක පාෂාණ ස්ථර වලින් යටවෙලා අර කලින් ක්‍රියාවලියම සිද්ධවුණා.

මතකද ඒ ලිපියෙම තිබුණා ඩෙවෝනියන් මහා නෂ්ටවීම කාලයේදී එක පාරට ඇතිවුණ දැවැන්ත ගස් සහිත වනාන්තර ටික? මේ ගස් ටිකත් කාලයත් එක්ක මහා වනාන්තර පිටින් පොළොවට පස් වෙලා වැළලිලා ගියා. ඒවත් අවුරුදු මිලියන ගාණක් තිස්සේ පොළොවේ ගොඩාක් යටින් අධික පීඩන හා උෂ්ණත්ව යටතේ ජීර්ණය වෙලා කලින් වගේම බොරතෙල් හා ගෑස් නිෂ්පාදනය වුණා.

ඔන්න ඔහොමයි පෘථිවියේ බොරතෙල් හැදුනෙ. මේ දේවල් සිද්ධවුණේ අල්ලා දෙවියන් කියල සංකල්පයක් නිර්මාණය වෙන්නත් අවුරුදු මිලියන ගාණකට පෙරයි.


දැන් අපි අද තත්වයට එමු.

අද වෙනකොට ලෝකයේ විශාලම බොරතෙල් නිෂ්පාදකයා වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයයි. මේ තියෙන්නෙ ලෝකෙ වැඩිපුරම තෙල් නිෂ්පාදනය කරන රටවල් ලිස්ට් එක. 


-Source : Wikipedia 2018-

පොඩ්ඩක් බලන්නකො ඔය ලොකුවට හිතන් ඉන්න අරාබියෙ තත්වෙ. අරාබියෙ ඔය නිෂ්පාදනය කරන තෙල් පොඩ්ඩෙන් උපයන සල්ලි වලිනුත් බාගයක්ම යන්නෙ ඇමරිකාවෙ, එංගලන්තෙ, ප්‍රංශ හා රුසියානු සමාගම් වලට. මොකද පොළොව යට තෙල් තිබුණට ඒවා ගොඩට ගන්න පිරිපහදු කරන්න අවශ්‍ය තරම් දැනුමක් අරාබි ජාතිකයන් සතුව නැති නිසා. ඉතින් තේරෙනවනෙ තෙල් වර්ජනය කරන්න කියන එක මොන තරම් මෝඩ කතාවක්ද කියලා.

අමතර කරුණක් කියන්නම්. දැන් එමු ලංකාව පැත්තට. ලංකාවෙ සමහරු හිතන් ඉන්නෙ අරාබි ජාතිකයා තෙල් ලිඳට බාල්දිය දාලා තෙල් ඇද ඇද දෙනවා, අපි කළගෙඩි වලට පනිට්ටු වලට පුරවගෙන අරන් එනවා කියලා. එහෙම වෙන්නෙ නෑ. බොරතෙල් විකිණෙන්නෙ ලෝක වෙළඳපොළේ. ලංකාවට එන තෙල් වලින් 1/3කටත් අඩුවෙන් තමයි ඔය උඩ දාගෙන ඉන්න අරාබියෙන් (අබුඩාබි සමාගම් වලින්) එන්නෙ. එහෙම එන බොරතෙල් ලංකාවෙදි පිරිපහදු කරලා තමයි පෙට්‍රල් ඩීසල් වගේ අවසන් නිෂ්පාදන (end products) හදන්නෙ.

එතකොට ඉතුරු 2/3 එන්නෙ කොහෙන්ද?

ඉතුරු 2/3 එන්නෙ බොරතෙල් හැටියට නෙමෙයි. ඒවා එන්නෙ පිරිපහදු කරලමයි. ඒවා අපි ගන්නෙ තෙල් නිෂ්පාදනය කරන රටවල් වලින් නෙමෙයි. ලෝක වෙළඳපොළේ විකිණෙන බොරතෙල් මිලදීගන්න සිංගප්පූරු සමාගම් තියෙනවා. එයාලා ඒවා අරන් එයාලගෙ purification plants වලදි පිරිපහදු කරලා පෙට්‍රල් ඩීසල් එහෙම නිෂ්පාදනය කරලා ලාභයක් තියාගෙන අපිට විකුණනවා. ඔන්න ඕක තමයි ක්‍රමය.




ඉතින් දැන් ඔයාලට තේරෙනව ඇති ඛණිජ තෙල් වලට අරාබි ජාතිකයන්ට තියෙන්නෙ කොයි තරම් පුංචි අයිතියක්ද කියන එක. කොහොමත් ඉස්සරහට ලෝකය සම්පූර්ණයෙන් විදුලි වාහන වලට පරිවර්තනය වෙනකොට ඒ පොඩි අයිතියත් ලඟදීම ඔවුන්ට අහිමි වෙන්න නියමිතයි.

- රෙහාන් මෙන්ඩිස්

(ප.ලි.
අරාබිය නැතුව විදුලිය නිපදවන්න බෑ කියල හිතන කෙනෙක් ඉන්නව නම් කරුණාකරලා පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ ගැනත් කියන්නම්. ලිපිය දිග වැඩි වෙන නිසයි කිව්වෙ නැත්තෙ)

අනෙක් ලිපි සඳහා https://diaryofrehan.blogspot.com

Comments

  1. රිදෙන්නම දීලා ඒකනම් 😅

    ReplyDelete
    Replies
    1. අපි ඔළුවෙන් හිටගෙන කිව්වත් එයාලගෙ පොතෙන් පිට දෙයක් එයාලා විශ්වාස කරන්නෙ නෑ හැබැයි 😂

      Delete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය