චර්නොබිල් වල මොකද වුණේ? (දෙවෙනි කොටස) Chernobyl Disaster (Part 2)


පළවෙනි කොටසෙදි කිව්වනෙ චර්නොබිල් සැකැස්මෙ මරණීය වැරැද්දක් තිබුණා කියලා.. මේ වැරැද්ද සහ චර්නොබිල් ප්‍රධානීන්ගේ දැඩි නොසැලකිල්ල නිසා 56 දෙනෙකුට සෘජුවම ජීවිත අහිමිවුණා. මේ කියන්න යන්නෙ ඒ කතාව..






ලෝකයේ න්‍යෂ්ටික බලාගාර පරම්පරා 5ක් තියෙනවා. අද බහුලව තියෙන්නෙ 3+ පරම්පරාව. රුසියාවෙ සහ චීනයේ නම් දැනටම 4 වෙනි පරම්පරාවෙ බලාගාර ක්‍රියාත්මක වෙනවා. ජපානයත් ලඟදිම ඒ තැනට එන්න සූදානම්. රුසියාව නම් 5ට යන්න පරීක්ෂණ කරන බවටත් කටකතා තියෙනවා.






කොහොම වුණත් අපේ කතා නායකයා චර්නොබිල් නම් දෙවෙනි පරම්පරාවෙ මුලම බිහිවුණ බොහොම පැරණි බලාගාරයක් මේකෙ රිඇක්ටර්ස් 4ක් තියෙනවා (තව 2ක් හදන්න හිටියට අනතුරින් පස්සෙ නැවතුනා). මේ සෝවියට් රිඇක්ටර් වලට කිව්වෙ RBMK (reaktor bolshoy moshchnosty kanalny - High-power channel type reactor) කියලා.


මේ RBMK රිඇක්ටර් වල designing fault එකක් තිබුණා. ඒවා නිවැරැදි කෙරුනෙ චර්නොබිල් පිපිරීමෙන් පසුවයි. මේ ජාතියෙ RBMK රිඇක්ටර් සෝවියට් රුසියාව පුරාම තිබුණා. 1986දි පුපුරපු චර්නොබිල් 4 වෙනි රිඇක්ටර් එකට අල්ලපු වැටේ තියෙන 3 වෙනි රිඇක්ටර් එක පවා 2000 අවුරුද්ද වෙනකන්ම ක්‍රියාත්මක වුණා.


කලින් කිව්වනෙ වර්තමාන න්‍යෂ්ටික බලාගාර වල reactor core එකේ තාපය එලියට ගන්නෙ pressurized water හරහා කියලා. හැබැයි චර්නොබිල් බලාගාරයේ ක්‍රමය වුණේ reactor core එකට කෙලින්ම වතුර (light water) යවලා හුමාලය හදන එකයි. මේක තිබුණෙ චර්නොබිල් වල විතරක් නෙමෙයි. තව ඕන තරම් BWR තිබුණා.



අපි යමු 1986 අප්‍රේල් 26 පාන්දර 1ට විතර..




එදා චර්නොබිල් බලාගාරයේ 4 වෙනි රිඇක්ටර් එකේ පොඩි safety test එකක් කරන්නයි චර්නොබිල් ලොක්කො 3 දෙනා වුණ වික්ටර් බෲකානෝ (බලාගාර අධ්‍යක්ෂක), ඇනටෝලි ඩයට්ලෝ (සහකාර ප්‍රධාන ඉංජිනේරු) සහ නිකොලායි ෆෝමීන් (ප්‍රධාන ඉංජිනේරු) ලෑස්ති වුණේ. හැබැයි මේක කෙරුණෙ හොරෙන්. සම්මත නීති රීති සහ safety procedures වලට පිටින් අත්තනෝමතික ලෙසටයි.



පරීක්ෂණය


RBMK reactor type එකේ තිබුණ කූලිං මෙතඩ් එකනෙ light water cooling කියෙන්නෙ. ඉතින් අධිකව රත්වෙන reactor core එකේ උෂ්ණත්වය අඩු කරන්න එක දිගටම cooling water ලැබෙන්න ඕන. මේ වතුර කෝර් එකට පොම්ප කරන්නෙ වතුර පොම්ප කිහිපයක් මගින්. ඒ පොම්ප වලට විදුලිය ලබාගන්නෙ බලාගාරයෙන් නිපදවෙන විදුලියෙන්මයි.


යම්කිසි හේතුවක් මත ටර්බයින් ක්‍රියාවිරහිත වෙලා මුළු බලාගාරයේම විදුලි බලය ඇණහිටලා විදුලි ජාලය ඔස්සේ බාහිරින් ලැබෙන විදුලියත් (grid electricity) ඇණහිටියොත් (blackout කියන්නෙ මෙහෙම වෙලාවට. මුළු රටේම තත්වය ඕක නම් Total blackout කියලත් කියනවා) ඒ වෙලාවට මේ වතුර පොම්ප ක්ෂණිකව ක්‍රියාවිරහිත වෙනවා.


ඔන්න දැන් ලොකු ප්‍රශ්නයක්. Cooling නෑ. හැබැයි reactor එකේ ප්‍රතික්‍රියාව දිගටම වැඩ. එතකොට අර ප්‍රතික්‍රියාවෙන් උපදින තාපයට මොකද වෙන්නෙ? මෙච්චර වෙලා ඒ තාපය අරන් ගියෙ වතුරනෙ. දැන් වතුර නෑ. ඒ කියන්නෙ core එක හොඳටම රත් වෙනවා. ඒකට පිළියමක් ලෙස තිබුණෙ ඩීසල් ජෙනරේටර් 3ක්. ඒවා ක්‍රියාත්මක කරලා ඒවා වලින් නිපදවෙන විදුලිය වතුර පොම්ප වලට දීලා පොම්ප දිගටම ක්‍රියා කරවනවා. එතකොට කිසි අවුලක් නෑ..


හැබැයි අවුලක් තියෙනවා. ඒ තමයි ජෙනරේටර් වලට අවශ්‍ය rpm එක අරගන්න විනාඩියක විතර කාලයක් යනවා. ඒ කියන්නෙ විදුලිය නැතිවෙලා විනාඩියකට පස්සෙයි පොම්ප ආපහු ක්‍රියාත්මක වෙන්නෙ. එතකොට විනාඩියක කාලයක් පුරාවටම core එක රත්වෙනවා. අපි මේ ගණුදෙනු කරන්නෙ න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් එක්ක. මේකට විනාඩියක් කියන්නෙ ඉතාම විශාල කාලයක්. ඒ කාලය හොඳටම ඇති overheat වෙන්න.


හැබැයි ඕකටත් උත්තරයක් තිබුණා. අර ක්‍රියාවිරහිත වෙච්ච ටර්බයින් එක තියෙනවනෙ. ක්‍රියාවිරහිත කිව්වට ඕක එක පාරට දඩස් ගාලා නතර වෙන්නෙ නෑ. විනාඩි කිහිපයක් තිස්සේ ටික ටික slow down වෙලා සැලකිය යුතු කාලයකට පසුවයි සම්පූර්ණයෙන් නතර වෙන්නෙ. හරියට නිකං ගෙදර ෆෑන් එක ඕෆ් කරාම ටිකක් වෙලා කැරකිලා වේගය අඩුවෙලා නතර වෙනවා වගේ. ඔය slow down වෙන ටර්බයින් එකෙනුත් පුළුවන් කෙටි වෙලාවකට පොඩි විදුලියක් නිෂ්පාදනය කරගන්න. අර ජෙනරේටර් ක්‍රියාත්මක වෙන්න ගතවෙන විනාඩියක කාලය මේ ක්‍රමයෙන් විදුලිය හදාගෙන ඇදගත්තොත් වැඩේ ගොඩ. එතකොට පොම්ප එක තත්පරයට වත් නතර නොවී දිගටම වැඩ කරවගන්න පුළුවන්. ඕක කරන්න පුළුවන්ද කියල බලන එක තමයි එදා ඒ තීරණාත්මක දවසෙ කරපු පරීක්ෂණය..


ඒ පරීක්ෂණයට එදා දවස තෝරගන්නත් හේතුවක් තිබුණා. එදා රෑ බලාගාරයේ 4 වෙනි රිඇක්ටර් එක shut down කරන්න නියමිතවයි තිබුණෙ. ඒ කියන්නෙ කලින් ඡේදයේ කිව්වා වගේ ටර්බයින් නතර වෙන අවස්ථාවක්. අර උඩ කියපු පරීක්ෂණය කරගන්න හම්බවෙන හොඳම අවස්ථාවක් තමයි මේ එන්නෙ. ඒක නිසයි එදාට පරීක්ෂණය දාගෙන තිබුණෙ.


හැබැයි එදාට බලාගාරය නතර කරන එකට grid controller කැමති වුණේ නෑ. එයා කියන හැටියට තමයි වැඩ කෙරෙන්න ඕන. ලංකාවෙත් එහෙමයි. Control center කියල එක මධ්‍යස්ථානයකින් තමයි සියළුම බලාගාර පරිපාලනය කරන්නෙ. සෝවියට් දේශයේ නම් grid controller. ඔන්න දැන් ප්‍රශ්නයක්. බලාගාරය shut down කරන්න වෙන්නෙ නෑ. හැබැයි අර කලින් කියපු 3 දෙනා රහසේම තීරණය කරනවා බලාගාරය half load ඒ කියන්නෙ 1600MW දුවන ගමන් පරීක්ෂණය කරන්න.  හැබැයි නියමිත රෙගුලාසි අනුව මේ පරීක්ෂණය කරන්න නම් පද්ධතිය 700MW තරම් අඩු වෙන්න ඕන. කොහොම වුණත් ඩයට්ලෝගේ තර්ජන මත පරීක්ෂණය රහසේම කෙරෙනවා.


ඔන්න චර්නොබිල් 4 වෙනි රිඇක්ටර් එකේ control room එකේ අය පද්ධතිය 1600MW දුවන ගමන් ඉඳලා පරීක්ෂණය පටන්ගන්න මොහොතකට කලින් ඩයට්ලෝගේ උපදෙස් පරිදි පද්ධතිය 700MW දක්වා පහතට ගන්නවා.


ඔන්න දැන් ප්‍රශ්නයක් මතුවෙනවා.


රිඇක්ටර් එකට යුරේනියම් ඉන්ධන ඇතුල් කරන්නෙ fuel rods මගින්. මේ fuel rods ඇතුලෙ තමයි යුරේනියම් disks ගබඩා කරල තියෙන්නෙ. නමුත් 700MW වගේ ඉතාම අඩු බලයක් යටතේදී මේ fuel rods ඇතුලෙ සෙනෝන් (Xe) වායුව නිෂ්පාදනය වෙන්න ගන්නවා. මේකට කියන්නෙ xenon poisoning කියලා. Xenon වලටත් පුළුවන් බෝරෝන් වගේ නියුට්‍රෝන අවශෝෂණය කරගන්න. සාමාන්‍ය තත්වයේදි නම් මේ xenon හැදෙනකොටම පිච්චිලා යනවා. හැබැයි 700MWටත් අඩු වෙනකොට Xe පිච්චෙන්න තරම් තාපයක් රිඇක්ටර් එක ඇතුලෙ නෑ. ඉතින් දිගටම Xenon build up වෙනවා. ඒකෙන් වෙන්නෙ ක්‍රියාකරුවන්ට පද්ධතිය 700MW වල තියාගන්න නොහැකි වෙනවා. දිගින් දිගටම බලය පහත වැටෙනවා.


500MW, 200MW, 100MW, අන්තිමට 30MW දක්වා ආපු බව වාර්තා වෙනවා. මේ වෙනකොට හරි නම් කරන්න ඕනෙ රිඇක්ටර් එක shut down කරලා දවසක් පුරාවට පොඩ්ඩ පොඩ්ඩ හරිම හෙමින් බලය වැඩි කරන එක.


නමුත් ඩයට්ලෝගේ අණ පරිදි ක්‍රියාකරුවන්ට සිදුවෙනවා ඒ මොහොතේම පද්ධතියේ බලය ඉහළ නංවන්න. ඒකට කරන්න තියෙන එකම විකල්පය තමයි control rods එලියට අදින එක. Control rods 211න් 205ක්ම සම්පූර්ණයෙන් එළියට අදිනවා. 6යි ඇතුලෙ. සාමාන්‍යයෙන් අන්තර්ජාතික නීති යටතේ අවම වශයෙන් control rods 30ක් ඇතුලෙ තිබිය යුතුමයි.


දැන් සිද්ධවෙන්නෙ ඇක්සලරේටරය ලෑල්ලටම පාගගෙන ක්ලච් එක නිදහස් කරා වගේ වැඩක්. එක පාරට ප්‍රතික්‍රියාව උපරිම සීඝ්‍රතාවයෙන් වෙන්න පටන්ගන්නවා. Core එකේ උෂ්ණත්වය වැඩිවෙනවා. ඒ එක්කම අර හැදුන xenon පිච්චිලා යනවා. Control rods ටිකත් උඩ. ඒ කියන්නෙ මේ වෙනකොට ප්‍රතික්‍රියාව නතර කරන්න පුළුවන් කිසි දෙයක් නෑ. බ්‍රේක් දශමයක් වත් නැති වාහනයකින් කඩුගන්නාව බහිනව වගේ. මේ RBMK වල තියෙනවා Positive void coefficient කියල එකක්. ඒකෙ තේරුම තමයි පද්ධතියේ උෂ්ණත්වය වැඩිවෙනකොට ප්‍රතික්‍රියාව තව තවත් වැඩිවෙන එක. ඒක හරියට බ්‍රේක් නැතිවුණාම උපරිම වේගයට එන්න design කරපු වාහනයක් වගේ. අනතුරුදායක බව ඉතා ඉහළයි.


පොම්ප වහපු නිසා දැන් core එකේ තාපය ඉවතට ගන්න වතුරත් නෑ. අධික තාපය නිසා ඉතුරු වෙලා තිබ්බ වතුර ටිකත් එක තත්පරෙන් වාෂ්ප වෙලා ගිහින්. ඔන්න දැන් රිඇක්ටර් එකේ power එක ආපහු වැඩි වෙවී යනවා..


100MW, 200MW, 500MW, 700MW, 1000MW,....


දැන් ප්‍රතික්‍රියාව පාලනය කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. ප්‍රතික්‍රියාව සීඝ්‍රතාවය උපරිමයටත් වඩා බොහොම වැඩියි. හැබැයි කරන්න එක වැඩක් තියෙනවා. ෆෝන් එක ස්ටක් උනාම power button එක ඔබල ඕෆ් කරනවා වගේ මේ RBMK reactors වලටත් තිබුණා සියල්ල ක්‍රියාවිරහිත කරන්න පුළුවන් AZ-5 කියල button එකක්. ඒක එබුවම වෙන්නෙ control rods ඔක්කොම උපරිම පහළට (core එක ඇතුලටම) ඇවිත් නියුට්‍රෝන ඔක්කොම උරාගෙන ප්‍රතික්‍රියාව නතර කරන එක. හරියට වාහනේ බ්‍රේක් උපරිමයෙන් පෑගුවා වගේ.




හැබැයි මේ button එක වැඩ කරන්නෙ සාමාන්‍ය තත්ව යටතේ විතරයි. මේ වෙනකොට control rods 205ක්ම තිබුනෙ රිඇක්ටර් එකෙන් සම්පූර්ණයෙන් එලියෙ. මේ කන්ට්‍රෝල් රොඩ්ස් බෝරෝන් වලින් හදල තිබුණට මේවා වල යටම තුඩ හදල තිබ්බෙ ප්‍රතික්‍රියාව තවත් වැඩි කරන ග්‍රැෆයිට් වලින්. එහෙම කරේ ලාබය තකා. ඒක RBMK design එකේම තිබ්බ වැරැද්දක්.


ඔන්න දැන් මේ ග්‍රැෆයිට් කතාව නොදන්න ක්‍රියාකරුවන් AZ-5 ඔබනවා. ඒ එක්කම control rods 205ම එක පාර පහළට එන්න උත්සාහ කරනවා. මුලින්ම ප්‍රතික්‍රියාව එක්ක සම්බන්ධ වෙන්නෙ බෝරෝන් නෙමෙයි අර ග්‍රැෆයිට් තුඩු. දැන් ප්‍රතික්‍රියාව බෝම්බයක් වෙනවා. තව දුරටත් පහළට එන්න බැරුව control rods ඔක්කොම හිරවෙනවා. 3200MW වලට design කරල තිබුණ පද්ධතියෙ ජවය බලන් ඉන්නකොට වැඩිවෙන්න ගන්නවා..


1600MW, 3200MW, 5000MW, 11000MW, 20000MW, 26000MW සහ අවසානයට 33,000MW දක්වා..


දැන් තමයි පෘථිවි ඉතිහාසයේ දරුණුම න්‍යෂ්ටික අනතුර වෙන්න පටන්ගන්නෙ. core එකට දරන්න පුළුවන් උපරිම තාපයට ඇවිත් තියෙන්නෙ. එකපාරටම core vessel එකේ උඩ පියන ගැලවිලා විසිවෙනවා. ඒ එක්කම පිටත පරිසරයෙන් දහන පෝෂකයක් වන ඔක්සිජන් වායුව ඇති තරම් core එකට ඇතුල් වෙනවා..


🔥 යුරේනියම් ටොන් 190ක් (ඉන්ධන)
🔥 ඇති තරම් නියුට්‍රෝන (උණ්ඩ)
🔥 ගිනියම් වුණ ග්‍රැෆයිට් (මොඩරේටර්)
🔥 ඔක්සිජන් (දහන පෝෂකය)

ඔක්කොම එකම තැන!


1986 අප්‍රේල් 26 මොස්කව් වේලාවෙන් පෙරවරු 1.26ට බෝම්බයක් වගේ චර්නොබිල් 4 වන රිඇක්ටර් එකේ වෙසල් එක පුපුරා යනවා.


ඒ සමග යුරේනියම් ටොන් 190න් 30%ක්ම වායුගෝලයට මුසුවෙනවා. මේ විෂ වළාව චර්නොබිල් සිට 1500km දුරින් පිහිටි ස්වීඩනයට පවා දැනෙනවා. ගිණි නිවන භටයින් 28ක්, සහන සේවකයින් සහ ඔපරේටර්වරු ඇතුලු 56 දෙනෙකුට සෘජුව ජීවිත අහිමි වෙනවා. යුක්රේන සහ බෙලරුස් වැසියන් 4000කට පමණ තයිරොයිඩ් පිළිකා වැළඳෙනවා. වනාන්තර විනාශ වෙනවා. සතුන් විනාශ වෙනවා. වර්ගකිලෝමීටර් 2600ක භූමියක් තවත් දීර්ඝ කාලයකට ජීවත් වීමට නුසුදුසු වෙනවා. අනතුරට වගකිවයුතු 3දෙනාට වසර 10ක නාමික සිර දඬුවම් ලැබෙනවා.


වමේ සිට දකුණට බෲකානෝ, ඩයට්ලෝ, ෆෝමින්


සහකාර ප්‍රධාන ඉංජිනේරු ඇනටෝලි ඩයට්ලෝ 1995 දී විකිරණ නිසා ඇතිවුණ පිළිකාවක් නිසා වසර ගණනක් විඳවා මියයනවා.


ඩයට්ලෝ සිය අවසන් කාලයේ


මේ සියල්ල ලොවට හෙළිකර ඉතිරි RBMK reactors වලින් මේ මරණීය පළුද්ද ඉවත් කිරීමට සෝවියට් රජයට බලකිරීමට මූලිකත්වය ගත්තේ සෝවියට් න්‍යෂ්ටික විද්‍යාඥ වැලරි ලෙගාසෝ මහතා (Valery Alekseyevich Legasov). ඒ වෙනුවෙන් ඔහුට සෝවියට් රජයෙන් ලැබුණ තෑග්ග තමයි කුඩම්මාගේ සැලකිල්ල. අවසානයේ අනතුරින් හරියටම වසර 2කට පසුව 1988 අප්‍රෙල් 27 වෙනිදා ඔහු සියදිවි නසාගන්නවා.


න්‍යෂ්ටික විද්‍යාඥ වැලරි ලෙගාසෝ 



එතකොට න්‍යෂ්ටික බලාගාර කියන්නෙ මේ තරම් භයානක දේවල්ද? න්‍යෂ්ටික බලාගාරයක් කියන්නෙ ඕනම මොහොතක න්‍යෂ්ටික බෝම්බයක් වෙන්න පුළුවන් දෙයක්ද?



උත්තරේ තමයි නෑ කියන එක...


චර්නොබිල් අනතුර වුණෙත් ප්‍රධාන වශයෙන්ම නොසැලකිල්ල, නොදැනුවත්කම සහ නියමිත ආරක්ෂක ක්‍රියාමාර්ග නොගැනීම නිසයි. මුලින්ම කිව්වා වගේ න්‍යෂ්ටික තාක්ෂණය චර්නොබිල් ඉඳලා අද වෙනකොට ලබා තිබෙන දියුණුව ඉතාම විශාලයි..




අද වෙනකොට න්‍යෂ්ටික බලාගාර කියන්නෙ
ඉතාම ආරක්ෂිතව අඩු මිලට පරිසර හිතකාමීව විදුලිය නිපදවන්න පුළුවන් ක්‍රමයක්. එක අතකට මේක සූර්ය ශක්තියට වඩා පරිසර හිතකාමී වෙනවා. න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධව ගොඩක් අයට තියෙන්නෙ නොදැනුවත්කම මත ඇතිවුන දුර්මත විතරයි. ඒ දුර්මත ගැන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නිරෝධ රණසිංහ මහතා කරපු සම්පූර්ණ විග්‍රහයක් පහළින් උපුටා දක්වන්නම්. මේ ටික අනිවාර්යයෙන්ම කියවන්න..


_________________________________
උපුටාගැනීම...

​- න්‍යෂ්ටික බලය පිළිබඳ මිත්‍යා මත -


මේක ලියන්න කියලා හිතුවේ මේ මාතෘකාව සාකච්ඡා වෙන හැම තැනකම හැමදාම එන සුපුරුදු මිත්‍යා මත කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නිසා. එකම ප්‍රශ්නෙට හැමදාම උත්තර දෙන්න වෙන එක අවාසනාවක්.

1. න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට විශාල ඉඩක්, ජනශූන්‍ය ප්‍රදේශයක් අවශ්‍ය වේ.

මේක න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකු සාවද්‍ය මතයක්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක 1000ක විතර සේවක පිරිසක් සේවය කරනවා. ඒ නිසා ඕනෑම බලාගාරයක් ආශ්‍රිතව වෙනම කුඩා නගරයක් ඉදි වීම අනිවාර්යයි. ඒ නැතත්, න්‍යෂ්ටික බලාගාර කියන්නේ ශූන්‍ය විමෝචක බලාගාර නිසා ඒවා නාගරික ප්‍රදේශ වලට ඉතාම හිතකාමියි. ඒක නිසා බොහොමයක් රටවල න්‍යෂ්ටික බලාගාර ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව ම තමයි.




අනික න්‍යෂ්ටික බලාගාර අවට ජනශූන්‍ය වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක විකාරයක්. ජපානයේ ඇතැම් න්‍යෂ්ටික බලාගාර වලම තමයි පෙරපාසල් පවත්වාගෙන යන්නේ. ඒ ජනතාවගේ අනිසි බිය නැති කරන්නත් එක්ක.

ලංකාව න්‍යෂ්ටික බලාගාර හදන්න තරම් ඉඩ මදියි කියන එක අපේ බාගෙට දැනුමැත්තන් නිතර කියන දෙයක්. මේක බොරු. ලංකාව වගේ එකහමාරක් ලොකු දකුණු කොරියාවෙ න්‍යෂ්ටික බලාගාර 21ක් තියෙනවා. ලෝකේ ඉහළම තාක්ෂණික දැවැන්තයෙක් වෙන දකුණු කොරියාව ඒ තත්ත්වය ලඟා කරගත්තේ ඒ දැවැන්ත ස්ථාවර බලශක්ති ප්‍රභව මගින් ලැබුණු පන්නරයෙන්.


2. න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික බෝම්බ මෙන්ම පුපුරා යාමේ අවදානමක් ඇත.

මේක තමයි ඇත්තටම න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකුම මිත්‍යාව. මේක සම්පූර්ණයෙන්ම බොරු. න්‍යෂ්ටික බලාගාරයක පාවිච්චි වෙන න්‍යෂ්ටික ඉන්ධන කිසිසේත්ම බොම්බයකට සමාන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න තරම් මට්ටමකට සුපෝෂණය කරලා නෑ. ඒ නිසා කිසිම වෙලාවක න්‍යෂ්ටික බලාගාරයක් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන්නේ නෑ.

චර්නොබිල්, ෆුකුෂිමා-ඩායිචි වගේ බලාගාර අනතුරු වල උනේ න්‍යෂ්ටික පිපිරීම් නෙමෙයි. න්‍යෂ්ටික බලාගාරයක තියෙන "ප්‍රතිකාරක කුටීරය (Reactor Vessel)" ඇතුලෙ තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ.



මේක බලගැන්වූ මළ නොබැඳෙන වානේ වගේ ඉතා ශක්තිමත් ලෝහයකින් හදන ඝනකම් කුටියක්. මේකට බාහිරින් තියෙනවා "පීඩන කුටීරය (Pressure Vessal)" දැන් මේක හදන්නේ වානේ වළලු සමග ඝන සවිගැන්වූ කොන්ක්‍රීට් වලින්. ඔය මුලින් කී අනතුරු දෙකේදිම උනේ පීඩන කුටීරයේ හයිඩ්‍රජන් වායුව රැස්වීමෙන් පීඩනය වැඩි වෙලා පීඩන කුටීරය පුපුරා ගිය එක. ඒ බලාගාර ඉතා පැරණි තාක්ෂණයේ (දෙවන පරම්පරාවේ) න්‍යෂ්ටික බලාගාර. අද අපි ඉන්නේ හතරවැනි පරම්පරාවේ බලාගාර එක්ක. ඒවාගේ තාක්ෂණය සහ සුරක්ෂිතතාව ඉතාම ඉහළයි.
උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්දියාවේ කුඩන්කුලම් බලාගාරයේ ප්‍රතිකාරක හරය තියෙන්නේ යෝධ තටාකයක් මත. හදිසි අවස්ථාවකදි ක්ෂණිකව හරය සිසිල් කළ හැකියි.
(න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා)



3. න්‍යෂ්ටික බලාගාරයක් වටා විශාල ඉඩක ජීවත් වීම අවදානම් වේ.

මේකත් මෙහි පළමු කරුණ හා බැඳුන තවත් සාවද්‍ය කතාවක්. න්‍යෂ්ටික බලාගාරයක් හදනකොට ඒ අවට කලාප තුනක් අපි වෙන් කරගන්නවා (රූපසටහන බලන්න). ඔය කලාප තුනේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.




** බලාගාරයට ආසන්නම කි.මී. 3-5 කලාපය "පූර්ව සූදානම් කලාපය (Precautionary Action Zone)/ PAZ" නමින් හඳුන්වනවා. බරපතල හදිසි අවස්ථාවක දී  මිනිසුන් ඉවත් කළ යුතු වෙන්නේ මේ කලාපයේ පමණයි.

** බලාගාරයේ සිට කි.මී 25 දක්වා කලාපය "හදිසි ආරක්ෂණ කලාපය (Urgent Protective Action Zone)/UPZ" නම් වෙනවා. අනතුරක් උනාම අයඩීන් ප්‍රතිකර්ම ලබාදීම වගේ ඉක්මන් ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීම මේ කලාපයේ සිදු විය යුතුයි.

** බලාගාරයේ ඉහත සීම වලින් එපිට කලාපය "දිගුකාලීන ආරක්ෂණ කලාපය (Longer Term Protective Zone)/LPZ" නම් වෙනවා. මේ කලාපයේ හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නෑ. දිගු කාලීනව පරිසරයේ විකිරණශීලිතාව වෙනස් වෙනවද කියන එක අධීක්ෂණය කිරීම කළ යුතුයි. ඉන්දියාවේ කුඩන්කුලම් සහ කල්පාක්කම් බලාගාර අනුව නම් ලංකාව ඉන්නේ LPZ කලාපයේ.


4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.

මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.
ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්,ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.


5. න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු විය හැකියි.

මේක විකිරණ කියන්නේ මොනවද කියලා නොදන්න නිසා කියන කතාවක්. න්‍යෂ්ටික බලාගාර වලින් කිසිසේත්ම විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්නේ නෑ. බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.


6. න්‍යෂ්ටික බලාගාර වල උත්පාදනය වෙන අපද්‍රව්‍ය මුහුදේ ගිල්ලවනු ලැබේ.

මේකත් වැරදියි. න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙනවා වගේම නීති රෙගුලාසි මාලාවක් න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධයෙනුත් තියෙනවා. කිසිම බලාගාරයකට න්‍යෂ්ටික ඉන්ධන අපද්‍රව්‍ය හිතුමනාපෙ පරිසරයට නිදහස් කරන්න බෑ. මේ ඉන්ධන පිරිසිදු කරලා ඉතා ඉහළ තත්ත්වයේ ආරක්ෂණ ක්‍රමවේද යටතේ පොළව යට ගබඩා කිරීම සිද්ධ වෙනවා. අළුත්ම න්‍යෂ්ටික බලාගාර වල මේ ඉන්ධන අපද්‍රව්‍ය වල තියෙන ශක්තියත් නැවත භාවිතා කිරීමේ හැකියාවක් ඇති නිසා මේ ප්‍රශ්නය තව වැඩි කාලයක් තියෙන එකක් නෑ.

- නිරෝධ රණසිංහ


_________________________________
(උපුටාගැනීම අවසන්)



බ්‍රෝඩ්ලන්ඩ්ස් වලින් පසුව ලංකාවෙ දැන් ජලවිදුලි ප්‍රභව ඉවරයි. ගල්අඟුරු දැවැන්ත පරිසර අර්බුදයක් නිර්මාණය කරනවා. ඛණිජ තෙල් තව මහලොකු කාලයක් පවතින්නෙ නෑ. සුළං, සූර්ය වැනි බලශක්ති ප්‍රභව වලට රටේ සමස්ත විදුලි ඉල්ලුම සපුරන්න තියා හිතන්න වත් බෑ. Tidal plants හදන්න තරම් ප්‍රමාණවත් වඩදිය වෙනසක් අපි අවට නෑ. ඔය ඔක්කොම අතරෙ වාර්ශිකව ලංකාවෙ විදුලි ඉල්ලුම 6%කින් 8%කින් ඉහළ යනවා. ඒ අතරෙ ලෝකය විදුලි වාහන වලට පරිවර්තනය වෙමින් පවතිනවා.. කොටින්ම අනාගතය රඳාපවතින්නෙ විදුලිය මත.


ඔන්න ඕකයි තත්වෙ. කවුරු අකමැති වුණත් කවුරු බය වුණත් දියුණු වෙන්න නම් අපිටත් අනිවාර්යයෙන්ම කවදහරි න්‍යෂ්ටික ශක්තියට යන්නම වෙනවා.


විශේෂ ස්තූතිය : නිරෝධ රණසිංහ (ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය)


- රෙහාන් මෙන්ඩිස්



References:

https://energyeducation.ca/encyclopedia/RBMK

http://hyperphysics.phy-astr.gsu.edu/hbase/NucEne/xenon.html

https://www.nationalgeographic.com

https://en.m.wikipedia.org/wiki/RBMK

https://m.facebook.com/groups/804276106323782?view=permalink&id=1733781323373251

Comments

  1. Great article.💎
    Thank you very much.

    ReplyDelete
  2. Pattai machn.digatma liyapn.okkoma kiyewwa. 👍👍👍

    ReplyDelete
  3. මොනා හරි ලියපන්කෝ

    ReplyDelete
    Replies
    1. අළුතින් ලියපු පෝස්ට් 2ක් තියෙනවා. බලන්න 😉

      Delete
  4. Hodai..mea wage eawa FB eake danna..
    FB eake pissu කෙළින අයට tikak nawayhila කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඒකෙත් දැම්මා. ගොඩක් ස්තූතියි දිරිගැන්වීමට! 😊
      සමාවෙන්න reply එක පරක්කු උනාට

      Delete
  5. නියමයි බ්‍රෝ��

    ReplyDelete
  6. Thanks for Your excellent Note!

    ReplyDelete
  7. Thank you for this article

    ReplyDelete
  8. Such a detailed description. I read this after watching Chernobyl. Now I can understand better. Thank you very much.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය