ලොවක් ණයගැති පුංචි කෘමියා - මීමැස්සා


මීමැස්සො ලෝකෙන් තුරන් වුණොත් මිනිස්සුත් ටික කාලෙකින් ලෝකෙන් වඳවෙලා යනවා. කොහොමද පුංචි සතෙක් එච්චර ලොකු දෙයක් කරන්නෙ?




මීමැස්සො කියන්නෙ සොබාදහමෙ ඉන්න අතිශයින්ම වැදගත් පුරුකක්. මෙයාලගෙ මේ තියෙන වටිනාකම නිසාම මෙයාලා නැතිවුණ දවසක ඒ එක්කම අපිත් අවසන් ගමන් යනවා. පෘථිවිය තුල අපේ පැවැත්ම තීරණය කරන්නෙ මෙයාලා. කතාව මෙහෙමයි..


මීමැස්සා තමයි පරාගණයේ ප්‍රාථමික පුරුක. ඊට අමතරව සුළඟ, කුරුල්ලො, සමනල්ලු, වෙනත් කෘමීන් වගේ තවත් පරාගණ ක්‍රම තිබුණට කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය අතින් ඒ ක්‍රම වලට මීමැස්සො එක්ක හැරෙන්න වත් බෑ. එක මීමැසි කොලනියකට පුළුවන් දවසක් තුල මල් මිලියන 300ක් විතර පරාගණය කරන්න. ඉතින් මීමැස්සො නැතිවෙනවා කියන්නෙ ඒ එක්කම ශාක පරාගණයත් නතර වෙනවා කියන එක. මේ වෙනකොට මීමැස්සො වඳවීයාමේ තර්ජනයට මුහුණදෙමින් සිටිනවා. 2016 2017 අතර මීමැසිගහණය ව්ශාල ප්‍රතිශතයකින් අඩුවෙලා (dailymail). 2017 සහ 2018 වසර දෙකේදි විතරක් සැලකිය යුතු මීමැසි ප්‍රභේද සංඛ්‍යාවක් වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති සත්ව ලයිස්තුවට ඇතුලත් කෙරුණා.


මීමැස්සන්ට මෙහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා


1. කෘමිනාශක

ඔව් ඉතින් සොබාදහම විනාශ වෙන්නෙ කොතනද, මිනිස්සු එතන. කෘමිනාශක තමයි මීමැසි විනාශයට මූලිකම හේතුව. ඒකෙනුත් neonicotinoids අඩංගු කෘමිනාශක විශේෂයි. මේ neonicotinoids තරමක මාත්‍රාවකට පුළුවන් මීමැස්සාගෙ මධ්‍ය ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි කරලා ඌව අංශභාග තත්වයට පත්කරල මරන්න. අඩු මාත්‍රාවෙන් මේක වැදුනොත් මීමැස්සව කම්පන තත්වයට පත්වෙලා ආපහු ගෙදර එන්න පාර අමතක වෙනවා. බොහෝ විට මේකෙත් ප්‍රතිඵලය මීමැස්සගෙ අවසානය තමයි. මේ රසායනිකයේ වෙනත් ප්‍රභේදයක් සිගරට් වලත් බොහෝ දුරට සමාන ක්‍රියාකාරීත්වයෙන් යුතුව අඩංගු වෙනවා. 


2. පරපෝෂිතයන්

ප්‍රධාන වශයෙන් Varrao mite ලෙස හැඳින්වෙන මයිටාවන් විශේෂය මීමැසි සංහාරයට වගකිවයුතු පරපෝෂිතයන් වර්ගයක් ලෙස සැලකෙනවා. මේ පරපෝෂිතයන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය සිදුකල හැක්කේ මීමැසි කොලනි තුල විතරයි. මෙයාලා ලේ උරා බොන පරපෝෂිත කොටසක්. ඊට පස්සෙ කාලයත් සමග කකුල් හා පියාපත් විනාශ වී ගිහින් ඒ එක්කම මීමැස්සත් ජීවිතයෙන් සමුගන්නවා.


3. අයහපත් කාලගුණය

මිනිසා විසින් ඇතිකරන ලද ගෝලීය උෂ්ණත්වය ඉහළ යැවීමේ ක්‍රියාවලිය නිසා කාලගුණයේ ඇතිවෙලා තියෙන වෙනස්කම් අද වෙනකොට අපි හැමෝම අත්විඳින දෙයක්. මම මේ ලිපිය ලියනකොටත් ජපානයට වසර 60කට පසු වාර්තා වුණ ප්‍රභලම සුළිකුණාටුව කඩාවදිමින් පවතින්නේ. ඉතින් මේ වගේ කාලගුණික හා දේශගුණික විපර්යාස නිසාත් මීමැසි විනාශය වේගවත් වෙනවා.


4. කොලනි සංකෝචනය

මේක ස්වභාවික තත්වයක්. මේකෙදි වෙන්නෙ අවශ්‍ය තරම් ආහාර පවා තිබියදී කුඩා මීමැස්සන්ව මීමැසි රැජිණ සමග තනිකර දමා වැඩිහිටි මීමැස්සන් කොලනිය අතහැර යාම. මේකෙනුත් මීමැසි රාජධානිය බිඳවැටිලා ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් ඇතිවෙනවා.

______________________________________


මීමැස්සො නැතිවුණාට පස්සෙ මොකද වෙන්නෙ?


ඔන්න දැන් තමයි සෙල්ලම පටන්ගන්නෙ. මීමැසි නෂ්ටවීමත් සමග බොහෝමයක් එළවළු, පලතුරු, මල් වර්ග වල පරාගණය නතර වෙනවා. මේ තියෙන්නෙ තනිකරම වගේ මීමැසි පරාගණය මත රඳා පවතින බෝග කිහිපයක්.




මේවා විතරක් නෙමෙයි. තව ගොඩක් බෝග වල ඉරණම තීරණය වෙනවා (හාල් සහ තිරිඟු වලට නම් මේකෙන් සෘජු බලපෑමක් නෑ. හැබැයි ඉස්සරහට කියන්න යන වක්‍ර බලපෑම් නිසා ඒවත් විනාශ වෙනවා).


ඊළඟට වෙන්නෙ ශාක භක්ෂකයො ටිකට හොම්බෙන් යන්න වෙන එක. එයාලට දැන් උග්‍ර ආහාර අර්බුදයකට මුහුණදෙන්න වෙනවා. ඒ කියන්නෙ එයාලගෙත් අවසානය.


ශාක භක්ෂකයන් අවසන් වෙලා ටික කාලයක් යනකොට මාංශ භක්ෂකයන්ටත් ආහාර නැතිවෙනවා. කාලෙකදි එයාලගෙත් පැවැත්ම අවසන් වෙනවා.


මේ 2ම එක්ක මිනිස්සුන්ටත් සිද්ධවෙනවා දැඩි සාගත කාලයකට මුහුණදෙන්න. ඒ කාලෙදි කෝටිපතියන්ට විතරක් මාළු කෑල්ලක් කන්න පුළුවන් තත්වයක් තියෙයි. දැනටම ලෝක ජනගහනය බිලියන 7.8ක් (මේ වර්ධන වේගයත් එක්ක ඉස්සරහට ඕක තවත් වැඩිවෙන්න නියමිතයි). මේ සාගතයත් එක්ක මහා පරිමාණයෙන් මිනිස් ගහණය අඩුවෙන්න ගන්නවා. 




සාගතයක් කියන්නෙ යුද්ධ කිහිපයකත් ආරම්භය. කුසගින්න, දිළිඳුබව, පිරිසිඳු ජලය නැතිවීමෙන් ඇතිවෙන ලෙඩ රෝග, ප්‍රචණ්ඩත්වය මේ ඔක්කොම මිනිසාගේ අවසානය තමයි.


රෙදිත් නැතුව තමයි ඉන්න වෙන්නෙ. කපු කියන්නෙ දැඩි ලෙස පරාගණය මත රඳාපවතින දෙයක්නෙ. කපු නැතිවුණාම නයිලෝන් තමයි අඳින්න වෙන්නෙ.


බොහොමයක් ස්වභාවික ඖෂධ නිෂ්පාදනය කරන්නෙ ශාකසාර හා මල් ආශ්‍රිතව නිසා මේ කාලෙදි හොඳ බෙහෙත් ටිකක් හොයාගන්න එකත් ලේසි වෙන එකක් නෑ.


තෘණ භූමියේ සිට ලඳු කැලෑ දක්වා මේ ඔක්කොම කාන්තාරකරණයට ලක්වෙනවා. ඒ කියන්නෙ waterbed එක පහළ ගිහින් භූගත ජල ප්‍රභවත් ප්‍රයෝජනයට ගන්න බැරිවෙනවා. ඊට පස්සෙ පෘථිවිය පුරාම මේ වගේ තියෙයි.








දැන් තේරෙනවනෙ මේ පුංචි කෘමියට අපි කොච්චර ණයගැතිද කියලා. 


වෙලාවක් තිබුණොත් මේ ලින්ක් එකේ තියෙන research paper එක කියවල බලන්න.


මේකට අනුව සියළුම කෘමීන්ගෙන් සැලකියයුතු ප්‍රතිශතයක් හැම වසරකම මිහිතලයෙන් සමුගන්නවා. එහෙම බැලුවම වර්ෂ 2119, ඒ කියන්නෙ හරියටම තව අවුරුදු 100කින් සියළුම කෘමීන් පෘථිවියෙන් වඳවෙනවා.

______________________________________


මේකට මොකද කරන්නෙ?


සත්‍ය අසත්‍යතාවය හරියටම තහවුරු වී නැතත් ඇල්බට් අයින්ස්ටයින් මහතා වරක් "මීමැස්සන් වඳවී ගිය පසු මිනිස් වර්ගයාට ඉතිරිව ඇත්තේ තවත් වසර 4ක් විතරයි" ලෙස ප්‍රකාශ කල බව පැවසෙනවා (එතුමා මෙහෙම කිව්වෙ නෑ කියලත් මතයක් තියෙනවා). ඉතින් මීමැසි වඳවීයාම මේ වනවිට තේරුම් අරන් තියෙන සමහර රටවල් මේ විනාශය වළක්වගන්න යම් යම් පියවර අරන් තිබෙනවා.


  • ඇමරිකාව තුල මීමැස්සන්ට හානිකර කෘමිනාශක භාවිතය තහනම්. මේ තත්වය දැන් බොහෝ යුරෝපීය රටවලත් ක්‍රියාත්මකයි.

  • කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත Seed Labs විසින් මීමැස්සන්ගේ ප්‍රතිශක්තිය වැඩිකරන ආහාරයක් නිපදවා තිබෙනවා

  • ඊශ්‍රායලයේ Bee Hero ආයතනය මගින් මීමැස්සන්ගේ සෞඛ්‍ය තත්වය නිරීක්ෂණයට සහ මීමැසි කොලනි තුල සිදුවන අස්වාභාවික සංසිද්ධි නිරීක්ෂණය කිරීමට හැකි සංවේදක හා තවත් උපාංග නිපදවනවා.

  • මේ උත්සාහයන් අසාර්ථක වුණොත් තියෙන එකම පිළියම තමයි රොබෝ මීමැස්සන් නිපදවා කෘතිමව පරාගණය සිදුකිරීම. මේකටත් පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතිනවා.



මේ එක්කම මම කලින් ලියපු පෘථිවියේ මහා නෂ්ටවීම් 5 සහ ලෝක සිතියමේ නැති පාවෙන දූපත කියන ලිපි 2ත් කියෙව්ව නම් අපි මේ නොදැනීම ඉන්නෙ ලෝක විනාශයක දොරකඩ බව දැන් වෙනකොට ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඕන.

- රෙහාන් මෙන්ඩිස්



______________________________________


References

https://www.sciencedirect.com/science/article/pii/S0006320718313636

www.scienceabc.com

www.dailymail.co.uk

Comments

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය