ලෙබනන් අර්බුදය (සහ අපි)

● දිගු ඉන්ධන පෝලිම්,
● නිරන්තර විදුලි කප්පාදු කිරීම්,
● අධික උද්ධමනය,
● ඖෂධ හිඟය,
● ගණුදෙනුකරුවන්ගේ මුදල් රඳවාගෙන සිටින බැංකු,
● ආහාර සහ ජල හිඟය

නිකං අහල පුරුදුයි පුරුදුයි වගේද? නැත්තං කලබල වෙන්න එපා. ඉස්සරහට පුරුදු වෙයි. අද කියන්න යන්නෙ ලෙබනන් ආර්ථිකය කඩාගෙන වැටුණ හැටි. මේ කියන කරුණු කොයි තරම් අපේ රටට සමාන්තරද නැද්ද කියල තෝරා බේරා ගැනීම ඔබේ වැඩක්.


ඡායාරූප : රොයිටර්ස්
ඡායාරූප : රොයිටර්ස්


ලෙබනනයේ ජනගහනය ඉන්නෙ අධික පොහොසතුන් ඉතා සුළු ප්‍රමාණයකුත්, අධික දුප්පතුන් අති බහුතරයකුත් හැටියටයි (අපෙත් එහෙමද මන්දා). එරට පැවැති රජය අන්ත දූෂිත බවට ලොව පුරා කුප්‍රකටයි (අපේ නම් එහෙම නෑ මං හිතන්නෙ). 1975 ඉඳල 1990 දක්වා වසර 15ක් පුරාවට ලෙබනනයේ තිබුණා සිවිල් යුද්ධයක් (අපෙත් තිබුණද මන්දා). මේක අවසන් වෙන්නෙ දෙපාර්ශවය අතර ඇතිවුණ එකඟතාවයකින්. යුද්ධයේ අවසානය සමග ලෙබනන් රජය සීඝ්‍ර සංවර්ධන සැලැස්මක් ආරම්භ කරනවා. දැවැන්ත ගොඩනැගිලි, සුපිරි වෙළඳසැල්, අපාට්මන්ට් වගේ ඇහැට පෙනෙන, එහෙත් ප්‍රතිලාභ අවම සංවර්ධන ව්‍යාපෘති. (අපෙත් ඔහොමද මන්දා)


ඔය අතරෙ ලෙබනන් රජය එරට මූල්‍ය ඒකකය වන ලීරා වලට වෙළෙඳපොළ අනුව නිදහසේ පාවෙන්න ඉඩ නොදී ඇමරිකන් ඩොලරයක් ලීරා 1,507ක් වන සේ කෘතිමව බැඳ තබනවා (අපෙත් ඔහොමද මන්දා). රට ඇතුලට මහා පරිමාණයෙන් ඩොලර් ගලාගෙන එන්නෙ නැතුව නම් මේක කරන්න බැරි වැඩක්. ඉතින් ඇත්තටම බැරිවුණා. 2011 මැදපෙරදිග දේශපාලනය අස්ථාවර වීමත්, ලෙබනනයේ අසල්වැසි රටවල ඇතිවුණ යුද්ධත් නිසා ආයෝජකයන් ලෙබනනය අතහැරීමත් සමග ලෙබනන් බැංකු වල ඩොලර් සංචිත හිඳෙන්න පටන්ගත්තා (අපෙත් ට්කක් විතර ඔහොම වුණාද මන්දා).


ඔන්න එතකොට මහබැංකුව මරු වැඩක් කරා. බැංකු වල ඩොලර් තැන්පත් කරපු අයට අමතර 15%ක 20%ක වාර්ශික ප්‍රතිලාභ දීලා ඩොලර් ඇදගන්න උත්සාහ කරා (අපෙත් බැඳුම්කර වල එහෙම කරාද මන්දා). ඒකෙන් ඩොලර් ටිකක් ආවා. ඒත් අර ප්‍රතිලාභ ගෙවන්න කෝ ඩොලර්? ගැහුවා රෝලක්.


පළවෙනියගෙ ප්‍රතිලාභ ගෙවන්නෙ දෙවෙනියා තැන්පත් කරන ඩොලර් වලින්. දෙවෙනියගෙ ප්‍රතිලාභ ගෙවන්නෙ තුන්වෙනියා තැන්පත් කරන ඩොලර් වලින්.. ඔහොම ඔහොම ටික කාලයක් කරා. දැන් ඔයාලටත් තේරෙන්න ඕන මේක හැමදාම කරන්න බැරි බව. ආයෝජකයො ඉවත්වුණා. විදේශ සංචිත හිඳිලම ගියා.


රජය දිගින් දිගටම මුදල් අච්චු ගසමින් සිටියා. ඩොලරය කෘතිමව අල්ලාගෙන රට තුල මුදල් අච්චු ගැසීම වැඩිකිරීම හරියට පශ්චාත් බාගයට මැහුම් දමා විරේක බෙහෙත් පෙවීමක් වගේ එකවර කරන්න බැරි දේවල් 2ක්. නමුත් ඔවුන් එය සිදුකරා (අපිත් කරන්නෙ ඒකමද කියල පොඩ්ඩක් හොයල බලන්න). උද්ධමනය අහස උසට නගින්න ගත්තා. ලෙබනන් වැසියන්ට ලෙබනනය ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දින පත්වෙමින් තිබුණා. සමාජයෙන් දූෂිත රජයට විරෝධයක් තිබුණත් එතෙක් එම විරෝධය දැඩි සමාජ කැළඹීමක් බවට පත්වුණේ නෑ. ලෙබනනයේ සැලකියයුතු පිරිසක් විදේශ වල සේවය කල නිසා ඔවුන් එවන මුදල් වලින් ඔවුන්ගේ පවුලේ ලෙබනන් වැසියන් කොහොමහරි ගැටගහගත්තා.


ඉන්පසුව සිදුවීම් 3ක් වුණා.

1. රජය විසින් whatsapp සඳහා විශාල බද්දක් අය කරා. කලින් කිව්ව වගේ ලෙබනනයෙ හැම ගෙදරකම වගේ කෙනෙක් විදේශගත වෙලා ඉන්න නිසා ඔවුන් සමග සබඳතා පැවැත්වීමට ලෙබනන් වැසියන්ට තිබුණ එකම ලාභදායී මග whatsapp. මේ බද්ද ඔවුන්ට දරුණුවට දැනුනා. විශේෂයෙන් තරුණ ප්‍රජාවට.

2. Covid 19 වසංගතය පැතිරීම. කොවිඩ් වසංගතයට පෙර ලෙබනන් ආර්ථිකයෙන් 18%කට පමණ දායක වුණේ සංචාරක කර්මාන්තයයි. කොවිඩ් සමග සංචාරක කර්මාන්තය විනාශ වුණා.

3. බේරූට් වරායේ සිදුවූ අති දැවැන්ත පිපිරීම හා විශාල ජනතාවක් ඉන් විපතට පත්වීම. එකල සිටි අගමැතිගේ ඉල්ලා අස්වීමටත් මේක ආසන්නතම හේතුවක් වුණා.

මේ කරුණු 3ත් සමග ලෙබනනය ලිං පතුලටම වැටුණා. සමාජය පුපුරා ගියා.


මේ කාලය තුල ජනතාවට අභියෝග රාශියකට මුහුණදෙන්න සිදුවුණා.

1. ආහාර සහ ජලය හිඟ වුණා. නමුත් පැවැති රජය නම් එරටට ආධාර ලෙස ලැබුණු ආහාර පවා ගසාකෑ බව මාධ්‍ය වාර්තා කළා. බේරූට් වෙත ශ්‍රී ලංකාවෙන් පවා යැවුණු තේ කිලෝ 1600ට සිදුවූ දේ ඔබට සමාජ මාධ්‍යයක #teathief (තේ හොරා) hashtag එකෙන් search කිරීමෙන් දැනගත හැකියි.

2. දිනකට පැය 22ක් දක්වා වූ විදුලි කප්පාදු එරට සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. එරට විදුලි සැපයුම තිබුණෙ පුද්ගලික සමාගම් 2ක් සතුවයි.

3. ඖෂධ හිඟ වුණා.

4. බැංකු විසින් සිය තැන්පත් හිමියන්ට නැවත ලබාගත හැකි මුදල් ප්‍රමාණය දැඩි ලෙස සීමා කරා. මිනිසුන්ට තමන්ගෙම මුදල් වත් නැවත ලබාගත නොහැකි වුණා.

5. භාණ්ඩ නිදහස් කරගැනීමට ඩොලර් නැති නිසා වරාය වල විශාල backlogs එකතු වෙන්න පටන්ගත්තා.

6. තවදුරටත් සොරකම් කිරීමට රට තුල මුදල් නොමැති තැන රටේ පාලකයින් ඉවත් වුණා. රජය කඩාවැටුණා.

7. රටේ පාලනය භාරකාර රජයක් යටතට පත්වුණා. එහි අගමැති වුණේ එරට සිටි ධම්.. සමාවෙන්න.. ධනවත්ම මිනිසායි.

8. විරැකියාව අධික වුණා.

9. සොරකම්, මංකොල්ලකෑම් සුලබ වුණා.

10. ජාත්‍යන්තරය පවා අහක බලාගත්තා

ඡායාරූපය : අල් ජසීරා
ඡායාරූපය : අල් ජසීරා


මේ ප්‍රස්තාර වලින් දැක්වෙන්නේ ලෙබනනයේ සහ ශ්‍රී ලංකාවේ උද්ධමනය සහ ආහාර උද්ධමනයයි.

උද්ධමනය - ලෙබනන්



උද්ධමනය - ශ්‍රී ලංකාව
ලංකාව


ආහාර උද්ධමනය - ලෙබනන්



ආහාර උද්ධමනය - ශ්‍රී ලංකාව



■ ඇයි දැන් මේවා කියන්නෙ?
ගොඩක් කාලෙකින් බ්ලොග් එක ලියපු නැති නිසා නිකමට ලියන්න හිතුනා. වෙන විශේෂ හේතුවක් නෑ.


■ කවදහරි දවසක අපේ රටටත් මෙහෙම වෙන්න ගියොත් ඒකට අපි කලින් ලෑස්ති වෙන්නෙ කොහොමද?

https://m.facebook.com/story.php?story_fbid=10158753748453526&id=546258525

මේ ලින්ක් එක බලල අදහසක් ගන්න. හොඳයි නම් Kasun tips පේජ් එකටත් ලයික් එකක් දාන්න. අපේ මිතුරු කසුන් චරිතගෙ වැඩක්.


■ සිම්බාබ්වේ, වෙනිසියුලාව, ඇන්ගෝලා වගේ තවත් බංකොලොත් රටවල් තියෙද්දි ඇයි ලෙබනන්ම තෝරගත්තෙ?
නිකං. තවත් රටක් එක්ක පොඩි සමානකමක් දැකපු නිසා.


ඔබ සැමට සුබ (කරගතහැකි) නව වසරක් වේවා!

රෙහාන් මෙන්ඩිස්
☆  2022.01.05  ☆


REFERENCES

∆ නිව්යෝක් ටයිම්ස් https://www.nytimes.com/

www.tradingeconomics.com



Comments

  1. සුපිරි. කාලෙකින් නෙ පොස්ට් එකක් දැම්මෙ. ඊමෙල් එකට ආව දැම්මා කියල එහෙම්මම ආව බලන්න. එල.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි! ඇත්තටම කිව්වොත් 2021 අවුරුද්දටම එක පෝස්ට් එකක් වත් ලියාගන්න බැරිවුණා. ඒ තරම් කාර්යබහුල අවුරුද්දක්. හැබැයි පෞද්ගලිකව නම් අතිශය සාර්ථක අවුරුද්දක් වුනා. දිගටම රැඳිල හිටියට ගොඩක් ස්තූතියි! ❤

      Delete
  2. ලංකාවට ඔය දේ වෙමින් තියෙන්නෙ. අදූරදර්ශි පාලකයෝ ආවම ඔහොම තමයි.

    මේ අවුරුද්දෙ දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් දැනටමත් වෙන්න පටන්අරන්. මේක ලියල තාම මාස 2යි. ඒ මාස 2ට අපි ලෙබනනයට සෑහෙන්න ලං වෙලා. තව ටිකයි වගේ ඉතුරු

      Delete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය