සාපේක්ෂතාවාදය 6 | ආලෝකයේ වේගය ඉක්මවීම

කලින් ලිපි වල කිව්වා මතකද සාපේක්ෂතාවාදයට අනුව පදාර්ථයට කවදාවත් ආලෝකයේ වේගය ඉක්මවන්න බැහැ කියලා? අද අපි සූදානම් වෙන්නෙ ආලෝකයේ වේගය ඉක්මවන්නයි. මොකක්?? එතකොට සාපේක්ෂතාවාදය බිඳවැටෙනවද??? කියවලම බලන්නකො..




මේක කියවන්න කලින් සාපේක්ෂතාවාදය ගැන කලින් ලිපි ටික කියවල එන්න කියල නම් මට තරයේම නිර්දේශ කරන්න සිද්ධවෙනවා. මොකද කතාව ගලාගෙන යන්නෙ ඒවත් එක්ක නිසා..

හරි අපි මාතෘකාවට බහිමු..

දැන් එතකොට ස්කන්ධයක් තියෙන කිසිම පදාර්ථයකට ආලෝකයේ වේගය ඉක්මවන්න බැරිද? අපෝ පුළුවන්. හැබැයි ඒ එක් එක් සංසිද්ධියට ආවේණික කොන්දේසිත් තියෙනවා. ඒ කොන්දේසි නිසා මෙතනදි සාපේක්ෂතාවාදය බිඳවැටෙන්නෙ නැහැ. අපි කිහිපයක් වෙන වෙනම සලකල බලමු..

විශ්වය ප්‍රසාරණය වන බව ඔයා අහල ඇතිනෙ? ඉතින් හැම තත්පරයකින් ට්‍රිලියනයකින් එකකිනුත් ට්‍රිලියනයකින් එකක තරම් අතිශයින්ම කුඩා කාලයක් තුලදි මේ විශ්වයේ පරිමාව දෙගුණයක් වෙනවා.
ඒ කියන්නෙ විශ්වයේ ඈත කෙළවරේ තියෙන වස්තූන් තවත් ඈතට විසිවෙන්නෙ ආලෝකයේ වේගයට වඩා අති විශාල වේගයකින්. කොහොමද එහෙම වෙන්නෙ??

උත්තරේ මේ දර්ශනයෙ නමේම තියෙනවා. සාපේක්ෂ නිසා. ඔව් හැමදේම සාපේක්ෂයි. ඔන්න දැන් ග්‍රීක් වගේ ඇති. අපි වැඩේ සරලව පැහැදිලි කරගමු..

හිතන්නකො ඔයාට බෝට්ටුවක් තියෙනවා. ඔයාට ඒක 5 kmph උපරිම වේගයෙන් පදින්න පුළුවන්. ඔයා ගලන්නෙ නැති නිශ්චල ජල මතුපිටක් මත ජලයට සාපේක්ෂව 5kmph වේගයෙන් බෝට්ටුව පදිනවා. මම ගොඩබිම ඉඳල නිරීක්ෂණය කරනවා. ජලය නිශ්චල නිසා මට පේන්නෙත් ඔයා 5kmph වේගයෙන් යනවම තමයි. ඉතින් මම න්‍යායක් හදාගන්නවා ඔයාට 5kmph ට වඩා වැඩි වේගයෙන් යන්න බෑ කියලා.



ඔන්න දැන් ගඟක් තියෙනවා. ගඟේ වතුර ගලන්නෙ 10kmph වේගයෙන්. දැන් ඔයා මේ ගඟ ගලන දිශාවටම ගඟ දිගේ 5kmph වේගයෙන් බෝට්ටුව පදිනවා. ඔයාට දැනෙන්නෙ 5kmph ම තමයි. ඒත් ගොඩබිම ඉන්න මට පේන්නෙ ගඟේ වේගයත් එකතු වෙලා ඔයා 10kmph + 5kmph = 15kmph වේගයෙන් යනවා වගේ. එතකොට මම අර ඔයාට වතුරට සාපේක්ෂව යන්න පුළුවන් උපරිම වේගය 5kmph කියල හදාගත්ත න්‍යාය වරදිනවද? නැහැනෙ. මොකද මට 15kmph කියල පෙණුනෙ මම ගොඩබිම හිටපු නිසානෙ. මමත් ගඟේම හිටිය නම් මටත් පේන්නෙ ඔයා 5kmph යනවම තමයි.

ඔය සංසිද්ධියම තමයි විශ්වයෙත් වෙන්නෙ. විශ්වය ප්‍රසාරණය වෙනවා කියල වෙන්නෙ ඔය අවකාශ කාල තලය ප්‍රසාරණය වෙන එක. එතකොට ඒ අවකාශ කාල තලය මත තියෙන වස්තූන් ටිකත් ඉබේම ඈතට විසිවෙනවා. මෙහෙම හිතන්නකො. බැලුමක් තියෙනවා. ඔයා ඕකෙ එකිනෙකට 2cm දුරින් තිත් දෙකක් සලකුණු කරනවා. දැන් බැලුම පුම්බනවා. දැන් බැලුම ප්‍රසාරණය වෙන නිසා අනිවාර්යයෙන්ම අර තිත් 2 දුරස් වෙලා. අපි හොඳටම දන්නවා තිත් දෙක කොහෙවත් ගියෙ නෑ, බැලුමෙ පෘෂ්ඨය තමයි ප්‍රසාරණය වුණේ කියන එක. ඕකම තමයි කාල අවකාශ තලය ප්‍රසාරණය වෙද්දි ආකාශ වස්තූන්ට වෙන්නෙත්.

වැඩේ කියන්නෙ මේ ප්‍රසාරණය ආලෝකයේ වේගයට වඩා ඉතාමත්ම විශාල වේගයකින් සිද්දවීමයි. ඒක නිසයි අපිට ඈත වස්තූන් "අපිට සාපේක්ෂව" ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ඈත් වෙන බවක් පෙනෙන්නෙ.


Warp Drive

කලින් කිව්වෙ ස්වභාවික සංසිද්ධියක්නෙ. ඉතින් ඕක අපිට අභ්‍යාවකාශ යානයකට පාවිච්චි කරන්න බැරිද? මේක තවමත් සෛද්ධාන්තික මට්ටමේ තියෙන කතාවක් (Invented by Migel Alcubierre).

ඔයා මෙට්ටයක් මත බෝලයක් තියලා බෝලෙට ඉස්සරහින් මෙට්ටය පහලට ඔබනවා. එතකොට බෝලය ඒ පැත්තට තල්ලු වෙලා එනවනෙ. දැන් ඔයාට ඒ විදියටම අත මෙට්ටය තද කරගෙන එහාට මෙහාට බෝලය ගෙනියන්න පුළුවන්. දැන් බෝලයට එන්ජින් එකක් වත් මෝටරයක් වත් කිසිම දෙයක් නැහැ. ඒක ගමන් කරන්නෙ මෙට්ටය (තලය) පහළට එබෙන නිසා. ඕන නම් බෝලයට ඉස්සරහින් මෙට්ටය පහළට ඔබන ගමන් බෝලයට පිටුපසින් මෙට්ටය පොඩ්ඩක් ඉස්සුවා නම් මීටත් වඩා වේගයෙන් බෝලය ගමන් කරයි.

ඔය තියරියම අපිට යානයකට යොදාගන්නත් පුළුවන්. යානය ඉදිරියෙන් අවකාශ කාල තලය හකුළුවන ගමන් යානය පිටුපසින් අවකාශ තලය ප්‍රසාරණය කරන්නයි තියෙන්නෙ. ඕකට කියන්නෙ warp bubble එකක් කියලා. ඒ bubble එක ඇතුලෙ තමයි යානය තියෙන්නෙ. එතකොට හරියට වතුරෙ පාවෙන බෝතලයක් වගේ. බෝතලය මහන්සි වෙන්නෙ නෑ. වතුර එයාව අරන් යනවා. ඒ වගේ මුළු කාලය පුරාවටම යානය warp bubble එක ඇතුලට වෙලා bubble එකට සාපේක්ෂව නිශ්චලව ඉන්නවා. Bubble එක තමයි ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කරන්නෙ. හරියට අපි බස් එක ඇතුලෙ නිශ්චලව වාඩිවෙලා ඉන්නවා, බස් එක තමයි යන්නෙ වගේ.



හැබැයි ඉතින් ඕක ප්‍රායෝගික නෑ. හිතන්නකො ඔයාගෙ කාර් එකේ එන්ජිම නැවතිලා. දැන් මේක තල්ලු කරන්න ඕන. හැබැයි ඔයා කාර් එක ඇතුලෙම ඉඳගෙන ස්ටියරිං වීල් එක තල්ලු කරා කියල වැඩක් නෑනෙ. මොකද ඔයයි කාර් එකයි කියන්නෙ තනි ඒකකයක් නිසා වාහනය ඉස්සරහට යන්න කිසිම බාහිර බලයක් නෑ. කරන්න ඕනෙ ඔයා වාහනයෙන් බැහැලා තල්ලු කරන එක. එතකොට වාහනයට සාපේක්ෂව ඔයා යොදන්නෙ බාහිර බලයක්. එතකොට වාහනය චලනය වෙනවා.

යානයෙන්ම Warp bubble එකක් නැත්තං warp field එකක් හදන එකත් හරියට කාර් එක ඇතුලෙ ඉඳගෙන කාර් එක තල්ලු කරන්න හදනව වගේ වැඩක්. එහෙම නම් කරන්න ඕනෙ මුලින් වෙනත් යානයකින් යන්න පුළුවන් උපරිම වේගයෙන් ගිහින් Warp Highway එකක් හදන එක. එතකොට අපේ දෙවෙනි යානයට පුළුවන් ඔය warp highway එක පාවිච්චි කරල අධික වේගයෙන් යන්න.


හැබැයි ඔය ගමනෙත් ප්‍රශ්න නැතුවම නෙමෙයි. සාපේක්ෂතාවාදය 1 ලිපියෙ කිව්ව වගේ ඕක බොහොම භයානක ගමනක්. මොකද වස්තුවක් ආලෝකයේ වේගය ඉක්මවද්දි කාලය සෘණ හෝ අතාත්වික වෙන්න පුළුවන්. අතාත්වික වුණොත් ඒ කාලය තවදුරටත් අපිට ගෝචර නැහැ. එතකොට යානයේ ගිය අයට මොකද වෙන්නෙ???

ඊළඟට කාලය සෘණ වුණොත් යානය අතීතයට ගමන් කරනවා. හිතන්නකො 2018 යානය නිෂ්පාදනය කරලා පෘථිවිය වටේට නිර්මාණය කරපු warp highway එකක් දිගේ ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරල අතීතයට ගිහින් 2017දි ආපහු පෘථිවියට එනවා. ඒ කියන්නෙ 2018 නිර්මාණය කරපු යානය දැන් 2017දි පෘථිවියේ තියෙනවා. එතකොට 2018දි නිර්මාණය කරේ මොකක්ද? ඕක time paradox එකක්




Paradox කියන්නෙ කොහොම බැලුවත් උත්තර නැති ප්‍රශ්න වලට. උදාහරණයක් හැටියට හිතන්නෙකො ඔයා අතීතයට ගිහින් ඔයාගෙ තාත්තව මරණවා. දැන් එහෙම නම් ඔයා ඉපදෙන්න විදියක් නෑ. එහෙම නම් කවුද අතීතයට ගිහින් තාත්තව මැරුවෙ? තාත්තා මැරුණා නම් කොහොමද ඔයා ඉපදුණේ? ඔය වගේ විසඳුමක් නැති loop එකක් වගේ ප්‍රශ්න වලට තමයි paradox කියන්නෙ.



ඉතින් දැන් අපේ යානයටත් ඔය වගේ paradox ගොඩක් ඇතිවෙනවා. අපි යානය වගේම warp highway එකත් හැදුවෙ 2018දිනෙ. එහෙම නම් එයාල අතීතයට යද්දි warp highway එක අතුරුදන් වෙන්නත් ඕන. එතකොට යානයට මොකද වෙන්නෙ? අතීතයට යන කෙනෙක් එහිදී කරන සුළු වෙනසකින් පවා කාල රාමුවේ බෙදීම් අනන්ත ප්‍රමාණයක් ඇතිවෙන්න පුළුවන්. මේ හේතුව නිසාම ක්ෂණයකින් මුළු විශ්වයම අතුරුදන් වෙන්න පවා පුළුවන්. හිතාගන්න පුළුවන්නෙ මේකෙ භයානකකම?


Tachyon

මේක තාම හොයාගෙන නැති කල්පිත අංශුවක්. 154 බස් එකට වගේම මේකටත් පුළුවන් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්න. මෙයාට නිශ්චලතාවයේදි ස්කන්ධයක් තියෙනවා. මුල් ලිපි ටික කියෙව්ව නම් ඔයාට ප්‍රශ්නයක් ඇතිවෙන්න ඕන ස්කන්ධයක් තියෙනව නම් කොහොමද ආලෝකයේ වේගය ඉක්මවන්නෙ කියලා? උත්තරේ තමයි මෙයාට තියෙන්නෙ අතාත්වික ස්කන්ධයක්!


අතාත්වික (Imaginary)ඒකෙ තේරුම තමයි සෘණ සංඛ්‍යාවක වර්ගමූලය කියන එක.+4 වර්ගමූලය +2 හෝ -2 බව අපි දන්නවනෙ (+2 x +2 = -2 x -2= +4)හැබැයි සෘණ සංඛ්‍යාවක වර්ගමූලය මෙන්න මේකයි කියල සංඛ්‍යා රේඛාවක පෙන්නන්න අපිට බැහැ.

Tachyon වලට අතාත්වික නිසල ස්කන්ධයක් (rest mass) එකක් තිබුණට එයා ආලෝකයේ වේගය ඉක්මවුවට පස්සෙ නම් එයාට තියෙන්නෙ තාත්වික (Real) ස්කන්ධයක්. ඒක වෙන හැටි ඔන්න ගණනය කරලම පෙන්නුවා.


හැබැයි ඉතින් tachyon හොයාගත්තත් අපිට tachyon වල ගමන බලාගන්න නම් බැරිවෙයි. මොකද අපි tachyon අපි වෙතට එනව දකිද්දිත් එයා අපිව පහුකරගෙන ගිහින් ඉවරයිනෙ. ඒ නිසා tachyon අංශුව අපි වෙතට එන දර්ශනයයි අපෙන් ඉවතට යන දර්ශනයයි එක පාර පෙනෙන්න ගනියි.



අනාගතයෙදි සන්නිවේදනය සඳහා භාවිතා වන quantum communication වලට භාවිතා වන entanglement pairs වල සන්නිවේදනය සිද්ධවෙන්නෙත් ආලෝකයේ වේගයට වඩා වේගයෙන්. කොච්චර වේගවත්ද කියනව නම් මේකට කාලය ගතවෙන්නෙ නෑ. විශ්වයේ එහා කොණේ ඉඳල මෙහා කොණට පණිවිඩයක් එවන්නත් කාලය ගත වෙන්නෙම නෑ. ගතවන කාලය තත්පර 0යි.

0.00000...00001 නෙමෙයි හරියටම 0යි. මේක දැනටමත් කැනේරි දූපත් 2ක් අතරෙ සාර්ථකව අත්හදා බලපු පරීක්ෂණයක්. Entanglements කියන්නෙ තනිකරම quantum physics පාඩමක් නිසා ඒක ගැන මෙතන කියල පාඩම අච්චාරුවක් කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා කැමති අය අන්තර්ජාලයෙන් ඒ ගැන හොයාගෙන කියවන්නකො.


ලිපි කිහිපයක් පුරාවටම මේ එකතු කරගත්ත මූලික දැනුමත් එක්ක ඔයාලට පොත්පත් සහ අන්තර්ජාලය පාවිච්චි කරල සංකීර්ණව මේ විෂය ඉගෙනගන්න පුළුවන් වෙයි. කතා කරන භාෂාවෙන්ම පුළුවන් තරම් සරලව මේ දේවල් කියල දුන්නෙ ඒ මූලික අඩිතාලම දාන්න ඕන නිසයි. ඉතින් සාපේක්ෂතාවාදය ගැන ලිපි පෙළ මෙතනින් අවසානයි. කම්මැලි නැතුව කියවපු හැමෝටම ස්තූතියි!

-Rehan Mendis

(http://diaryofrehan.blogspot.com)


Comments

  1. Thanks bro for the gr8 Simple explanations ❤✌

    ReplyDelete
    Replies
    1. Thank you very much for your compliments bro! 😎

      Delete
  2. Thanks bro for the gr8 Simple explanations ❤✌

    ReplyDelete
  3. අතීතයට ගමන් කිරීමේ සංසිද්ධිය තව පැහැදිලි කලොත් හොඳයි

    ReplyDelete
    Replies
    1. කාල තරණය(time travel ) ගැන කතා කරද්දී විශේෂයෙන්ම වර්තමානයේ ඉදලා අතීතයට කාලය හරහා යාම පිලිබදව(backward time travel) ටිකක් අමුතු විදිහේ ගැටලු වගයක් ඇති වෙනවා.ඒ කියන්නේ යම් දෙයක්/පලයක් ඇති වෙන්නේ හේතුවක් නිසානේ.ඉතින් අන්න ඒ පලය කාලය හරහා අතීයට ගිහින් තම ඇති වීමට බලපාපු හේතුවලට බලපෑම් ඇති කරොත් කාලය තුල යම් ගැටලුකාරී තත්වයක් ඇතිවෙනවා.අන්න ඒ ගැටලු වලට paradox කියලා කියනවා.මේ paradox අතරින් ටිකක් වැඞියෙන් කතා වෙන paradox එකක් තමා Grandfather Paradox කියන්නේ.මේකෙන් කියවෙන දේ සරලව කීවොත් ඔයා කාලය හරහා අතීතෙට ගිහින් ඔයාගේ සීයාව පොඞි කාලෙදීම මරණවා!!. එතකොට සීයාට ආච්චිව හමුවෙන්නෙත් නෑ ඒ හින්දා ඔයාගේ තාත්තා මේ ලෝකෙට ඉපදෙන්නෙත් නෑ.ඒ කියන්නේ ඔයා ඉපද්දෙන්නෙත් නෑ.එහෙනම් ඔයා කොහොමද.(/කවුද) අතීතයට ගිහින් සීයාව මැරුවේ....තවත් මේ වගේ paradox කිහිපයක්ම තියනවා කාලතරනය සම්.බන්ධව..
      -©Kavindu Yeshan-

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. 6ma eka husmata kiyewwa....supiri wedak...👍👍👍

    ReplyDelete
  6. Supiri wadak!
    Agaya karannama watinawa meka.

    ReplyDelete
  7. සුපිරි . හැමෝටම තේරුම් ගන්න පුලුවන්

    ReplyDelete
  8. පට්ට මචන්. මේක මේ විදිහට පැහැදිලි කරන්න ගත්ත උත්සාහය අගය කරනවා. Best of luck.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය