සාපේක්ෂතාවාදය 5 | විශ්වයේ අභිරහස් දොරටු

විශ්වයේ තියෙනවා කියන අපූරු රහස් පාරවල් ජාතියක් ගැනයි අද කියන්නෙ. විශ්වයේ එක කෙළවරක ඉඳල තවත් කෙළවරකට හෝ එක් විශ්වයක ඉඳල තවත් සමාන්තර විශ්වයකට බොහොම කෙටි කාලයකදි ගමන් කරන්න පුළුවන් පුදුමාකාර දොරටුවක් තමයි මේ.

මේ Wormholes..



මුලින්ම කියන්න ඕන මේ wormholes කියන්නෙ තවමත් සොයාගෙන නැති කල්පිත මට්ටමේ තියෙන දෙයක් බව.

Wormhole එකකින් කොහොමද විශ්වයේ ගොඩක් දුරින් තියෙන තැනකට ඉක්මණට යන්නෙ? උත්තරේ wormhole කියන වචනෙම තියෙනවා. Worm කියන්නෙ පණුවටනෙ. එතකොට hole කියන්නෙ සිදුරට. Wormhole කියන්නෙ පණුවෙක් ඇති කරපු සිදුරක් වගේ දෙයක්.



මෙහෙම හිතන්නකො. ඇපල් ගෙඩියක එක පැත්තක A කියල ස්ථානයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ B කියල ස්ථානයක් තියෙනවා. දැන් කූඹියෙකුට A සිට B දක්වා යන්න ඕන වුණොත් ඌට ඇපල් ගෙඩියෙ මතුපිට පෘෂ්ඨය දිගේ බොහෝ දුරක් (ඇපල් ගෙඩියෙ පරිධියෙන් අඩක් පමණ) යන්න වෙනවා. නමුත් A සිට B දක්වා ඇපල් ගෙඩිය ඇතුලෙන් පණුවෙක් හාරපු උමගක් හමුවුණොත් අපේ කූඹියාට කලින්ට වඩා අඩු දුරක් ගමන් කරලා B වෙත ලඟා වෙන්න පුළුවන්.

ඉතින් විශ්වයෙත් ඔය සිද්ධියම වෙන්න පුළුවන්. මේ පින්තූරය බැලුවම කතාව තේරෙයි.



ඔතන wormhole එක ඇතිවෙලා තියෙන්නෙ විශ්වයේ තැන් 2ක තියෙන කළු කුහර 2ක මධ්‍යයන් (singularities) දෙකක් අවකාශ කාල තලයේ ඇති නැවීමක් නිසා එකකට එකක් සම්බන්ධ වෙලයි. හරියට පුනීල 2ක් එකට සම්බන්ධ කරා වගේ.

හැබැයි විද්‍යාඥයො කියන විදියට ඔය විදියට wormhole එකක් ඇතිවුණත් අපිට ඕක හරහා ගමන් කරන්න නම් බැරිවෙයි.


ඒකට හේතු කිහිපයක් තියෙනවා....

එකක් තමයි ගමන පුරාවටම දෙපැත්තෙම තියෙන කළු කුහර 2ම බොහොම ස්ථාවරව තියාගන්න ඕන. ඒත් ඒවා තනිකරම අපේ පාලනයෙන් තොර නිසා සහ එහා පැත්තෙ තියෙන කළු කුහරය ගැන කිසිම අදහසක් අපිට නැති නිසා මේ වැඩේ කරගන්න අමාරුයි.


තව ප්‍රශ්නයක් තමයි කළු කුහරයේ මධ්‍යය නැත්තං singularity එක ඉතාම කුඩා වීම. මේක ඉලෙක්ට්‍රෝනයකටත් වඩා බොහොම පොඩි ඉඩක් වෙන්න පුළුවන්. එහෙම නම් කොහොමද ඒ පුංචි ඉඩ අස්සෙන් එහා පැත්තට යන්නෙ?

හැබැයි ලොකුම ප්‍රශ්නය ඔය 2ම නෙමෙයි. ඒක තමයි ආලෝකයට වත් ගැලවීමක් නැති කළු කුහර දෙකේ දැවැන්ත ගුරුත්වාකර්ෂණය.

හිතනකො ඔයා කළු කුහරයක් තුලට ඇතුල් වෙනවා කියලා. මුළින් කකුල් 2, අන්තිමට ඔළුව යන විදියටයි ඔයා ඇතුල් වෙන්නෙ. කළු කුහරයට ලං වෙන්න වෙන්න ඒ තුලට ඇදගැනීම වැඩියි කියල අපි දන්නවනෙ. දැන් ඔයාගෙ කකුල් 2 තියෙන්නෙ ඔළුවට වඩා කළු කුහරයට අඩි කිහිපයක් ලඟින්. එහෙම නම් කකුල් දෙකට ඇතිවන ඇදගැනීම ඔළුවට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන.

ප්‍රශ්නය තමයි ඔළුවට ඇතිවන ආකර්ෂණය වගේ මිලියන කිහිප ගුණයක ආකර්ෂණයක් කකුල් 2ට ඇතිවීම. මේ හේතුව නිසා ඔයාගෙ ශරීරය චුවින්ගම් එකක් වගේ ඇදෙන්න පටන්ගන්නවා. හරියට තම්බපු ස්පැගටි වගේ.

-spaghettification-

මේ නිසාම මේ සංසිද්ධියට ස්පැගටිකරණය (spaghettification) කියලත් කියනවා. ස්පැගටි වලටත් ඇදෙන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ. ඊට පස්සෙ කැඩිලා යනවා. ඔයාගෙ ඇඟත් ඒ වගේ කෑලි වලට කැඩිල යනවා. මොකද ඔයාගෙ ඇඟේ ඕනම තැනක යෙදෙන ආකර්ෂණයත් ඒ තැනට වඩා මිලි මීටරයක් ඉස්සරහින් තියෙන තැනකට යෙදෙන ආකර්ෂණයත් අතර මිලියන ගුණයක විතර වෙනසක් පවතින නිසා. අන්තිමට ඔයාව ගණන් කරන්න බැරි තරම් කෑලි ගොඩකට කැඩිල යයි.



හරි අපි නිකමට හිතමු ඒකෙන් බේරිලා ඇතුලට යන්න ක්‍රමයක් හොයාගත්තා කියලා. ඒත් අපි දන්නවනෙ අනන්ත ගුරුත්වයක් තියෙන කළු කුහරයක මධ්‍යයෙ ඉඳලා ආලෝකයට වත් එළියට එන්න බැහැ කියලා. ඉතින් අපි කොහොමද එහා පැත්තෙ තියෙන කළු කුහරයෙ ගුරුත්වාකර්ෂණය මැඩගෙන ඒකෙන් එළියට යන්නෙ?

තවත් ප්‍රශ්නයක් තමයි කළු කුහරයේ මැදට යන විට කාලය ගමන් කිරීම නතර වීම.

ඔය වගේ රටේ නැති ප්‍රශ්න වැලක් නිසා මේක කරන්න බැරි වැඩක් කියලයි ගොඩක් විද්‍යාඥයො නම් කියන්නෙ. හැබැයි මීට ඉස්සරත් කරන්න බෑ බෑමයි කියල හිතන් හිටපු ගොඩක් දේවල් කරන්න පුළුවන් ක්‍රම හොයාගන්නත් පසු කාලීනව විද්‍යාවට පුළුවන් වුණා. එකක් තමයි ආලෝකයේ වේගය ඉක්මවීම. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.

-Rehan Mendis

(https://diaryofrehan.blogspot.com)


 < Previous           NEXT >

Comments

  1. Dan oya kalukuraha thulata adena aalokaya thiyanawane...ee aalookaya athulata gihin athule pirenna oone...ehema pirila pirila ikmawa yanne ndda?

    ReplyDelete
    Replies
    1. ආලෝකය කියන්නෙ හුදෙක් තරංග විශේෂයක්.ද්‍රව්‍යයක් නෙමෙයිනෙ.

      Delete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය