ගෝලීය උණුසුම

නව වසර උදාව ඔස්ට්‍රේලියාවට නම් එතරම් හිතකර වුණේ නෑ. ඇමේසන් ගින්න ඉවරවුණා විතරයි මේ වෙනකොට ඕස්ට්‍රේලියාව දැවැන්ත ලැව්ගින්නකින් පීඩා විඳිනවා. ඇයි ලෝකයට මෙහෙම වුණේ?




ඒ ගැන කතා කරන්න කලින් ප්‍රවේශයක් ගන්න පොඩ්ඩක් ඕස්ට්‍රේලියාවේ මේ ඡායාරූප ටික බලල ඉමු.. මේ ඕස්ට්‍රේලියාවට මේ වෙනකොට ලැව්ගින්න බලපාලා තියෙන හැටි..
















මේ වෙනකොට අක්කර මිලියන 15ක භූමියක් ගිණිගෙන අවසන්. අධික සුළං සහ අකුණු නිසා ගින්න බොහොම දුරට වේගයෙන් පැතිරෙමින් පවතිනවා. තවමත් ගින්න ඉවරවෙන පාටක් වත් නෑ.. හැබැයි මනුෂ්‍යත්වය ගිණිගත්තෙ නෑ. ගින්නට අහුවුණ සතුන් බේරගන්න ගොඩක් මිනිස්සු එකතු වුණා..























මේ තියෙන්නෙ ගිණි නිවන භටයින් කරපු අසමසම කැපකිරීම් වලින් බිඳක්.. මේ අය හැමෝම ගින්න මැදට ගියෙ තමන්ට ආපහු පණපිටින් එන්න ලැබෙයිද කියන එකත් ස්ථිර නැතුව..










හැබැයි කාටවත් බේරගන්න බැරිවුණ අහිංසක ජීවිත ගොඩකට පණපිටින් පිළිස්සෙන්න සිදුවුණා.. 

ඊළඟ ඡායාරූප කිහිපය සංවේදී අය නොබලන තරමට හොඳයි..








කල්පනාවෙන් බැලුවොත් පෙනෙයි මෙයා කටුකම්බි වැටෙන් එහා පැත්තට එන්න බැරුව ගින්නෙන් පිළිස්සිලා මියගිය බව.. ඇඟම පිළිස්සෙන අන්තිම මොහොතෙදිත් ඔළුව විතර වැටෙන් එළියට දාගෙන පණ බේරගන්න උත්සාහ කරලා..




තත්වය කොච්චර දරුණුද කියල දැන් තේරෙනවනෙ? මේ ලිපිය ලියන්න හිතුවෙ මේ හැමෝටම උපහාර පිණිස..


_______________________________________

ලෝකෙට ඇයි මෙහෙම වුණේ???


අපි මේ ටික ටික කිට්ටු වෙන්නෙ ලෝක විනාශයක දොරකඩට බව මීට කලින් ලිපි 3කදි විතර කිව්වනෙ. අද ඒ ඔක්කොම සාරාංශගත කරල ආපහු මතක් කරන්න කාලෙ හරි වගේ.. 


මතකද හැම අවුරුද්දකම මෙහෙම ප්‍රවෘත්තියක් පලවුණා "පසුගිය වසර 100 තුල වාර්තා වුණ වැඩිම උෂ්ණත්වය මෙම වසර තුලදී වාර්තා වී ඇත" හැම අවුරුද්දකම ඔය වාර්තාව අළුත් වුණා. ගෝලීය උෂ්ණත්වය එන්න එන්නම ඉහළ ගියා. මෙහෙම වෙන්න ලොකු හේතුවක් තමයි හරිතාගාර ආචරණය..


මොකක්ද මේ හරිතාගාර ආචරණය..
Greenhouse Effect..

සූර්යයාගෙන් පෘථිවියට තාපය ලැබෙනවනෙ. මේ ලැබෙන තාපයෙන් කොටසක් ආපහු පරාවර්තනය වෙලා ඉවතට යනවා. හැබැයි තාපය කොටසක් එහෙම යන්නෙ නෑ.. මේ රූපයේ හැටියට ඒ තාපය අපේ වායුගෝලය තුල සිරවෙනවා..




ඔන්න ඉතින් දැන් මේ තාපය නිසා පෘථිවිය උණුසුම් වෙන්න ගන්නවා. මෙහෙම තාපය සිරවීමට වගකියන්න ඕනෙ අපේ වායුගෝලයේ ඇති ඇතැම් වායු. ප්‍රධාන වශයෙන් ඒවා තමයි කාබන්ඩයොක්සයිඩ්, මෙතේන් සහ ජලවාෂ්ප (ඔව් ජල වාෂ්පත් ඉන්නවා).. මේවට කියන්නෙ හරිතාගාර වායු (Greenhouse Gasses) කියලා.


හරිතාගාර ආචරණය නරකද?


හරිතාගාර ආචරණය කියන්නෙ එහෙම නරක දෙයක් නෙමෙයි. පෘථිවියේ ජීවය බිහිවෙන්නත් හරිතාගාර ආචරණය හේතුවක්. මොකද මේක නොතිබෙන්න පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් සෘණ 18ක් 19ක් වගේ දක්වා පහළ මට්ටමකයි තියෙන්නෙ. ඒ කියන්නෙ සදාකාලික අයිස් යුගයක්. පෘථිවියේ උෂ්ණත්වය ජීවත්වීම සඳහා ප්‍රශස්ත මට්ටමක් දක්වා ඉහළට අරන් ආවෙ මේ ස්වභාවික හරිතාගාර ආචරණය මගින්..


එතකොට මේක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?

ප්‍රශ්නෙ තමයි වායුගෝලය තුල මේ හරිතාගාර වායු ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමට වඩා ඉහළ යාම. ඉස්සර ස්වභාවිකව වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් එකතු වුනේ මූලිකවම සතුන්ගේ සහ ශාක වල ප්‍රශ්වාසයෙන් (ශාක වල ප්‍රභාසංස්ලේෂණය සහ ශ්වසනය පටලගන්න එපා). ඊට අමතරව ශාක සතුන් මියගොස් දිරාපත් වෙනකොට, ලැව්ගිණි, ගිණිකඳු වගේ දේවලුත් එකතු වුණා.. හැබැයි ඉස්සර ඒක ප්‍රශ්නයක් උනේ නෑ. මොකද මේ නිකුත්වෙන කාබන්ඩයොක්සයිඩ් ටික අවශෝෂණය කරලා ඔක්සිජන් නිෂ්පාදනය කරල පරිසරයේ සමතුලිතතාවය රැකගන්න ශාක වලට පුළුවන්කම තිබුණා..

දැන් ප්‍රශ්නෙ තමයි මිනිසා විසින් ශාක වලට දරාගන්න බැරිතරම් කාබන්ඩයොක්සයිඩ් නිකුත් කිරීම සහ වන වැස්ම අඩු කිරීම.. 


කාබන්ඩයොක්සයිඩ් නිකුත් කිරීම



වාහන සහ කර්මාන්ත වලින් අධිකව ෆොසිල ඉන්ධන දහනය කිරීම නිසා වායුගෝලයට අධිකව කාබන්ඩයොක්සයිඩ් නිකුත් වෙනවා. පොඩ්ඩක් එහෙම නෙමෙයි අවුරුද්දකට කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 32ක් විතර! පොඩි නෑ නේද ගාන? මීට අමතරව සත්වපාලනය වගේ දේවල් වලිනුත් දැවැන්ත මීතේන් ප්‍රමාණවත් විමෝචනය වෙනවා. ඒ ඔක්කොම මදිවට රතිඤ්ඤා සහ කැලෑ ගිණි තැබීම්.. මේ ඔක්කොම උරාගන්න ගස් මදි.


වන වැස්ම අඩුවීම

මේවත් මිනිස් ක්‍රියාකාරකම් තමයි ඉතින්. ඇමේසන් වල සිදුවුණ විනාශය නැවත ප්‍රකෘති තත්වයට පත්වෙන්න තව දශක ගණනක් යයි. ඉස්සර 51%ක තිබුණ ලංකාවෙ වනවැස්මත් 20% පමණ දක්වා අඩු වුණා.



ඔය හේතු නිසා කාබන්ඩයොක්සයිඩ් උරාගන්න තියෙන ශාක ප්‍රමාණය අඩුවෙනවා. මීට වඩා දරුණු ශාක සංහාරයක් වෙනවා මුහුදෙ. ඒක ඉස්සරහට කියන්නම්. කොහොමහරි මේ හැමදේකින්ම අන්තිමට වෙන්නෙ හරිතාගාර ආචරණය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ඔන්න ඊට පස්සෙ රස්නෙ වැඩියි, ජල මූලාශ්‍ර හිඳෙනවා, දැන් ඕස්ට්‍රේලියාවේ වගේ දරුණු ලැව්ගිණි ඇතිවෙනවා, ධ්‍රැව වල ග්ලැසියර් දියවෙනවා, ඊළඟට මුහුදු මට්ටම ඉහළ යනවා, දූපත් යටවෙනවා, සුළං සහ වර්ෂා රටා වෙනස් වෙනවා, ස්වභාවික ආපදා රැසක් ඇතිවෙනවා, සාගත ඇතිවෙනවා, අන්තිමට යුද්ධ පවා ඇතිවෙනවා.. ඔක්කොටම මුල මිනිස් ක්‍රියාකාරකම් නිසා හරිතාගාර ආචරණය නරක අතට හැරිලා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම.


_______________________________________

මේකෙන් අපිට බේරෙන්න පුළුවන්ද?

දැන් නම් ගොඩක් අමාරුයි. හැබැයි තාම බැරි නෑ. ඒකට ප්‍රධාන වැඩ 2ක් කරන්න ඕන.

1. කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම..

ෆොසිල ඉන්ධන දහනය වෙනුවට විදුලිය යොදාගන්න ඕන. ඒ කියන්නෙ කර්මාන්ත වලට සහ වාහන වලට. ඒ සඳහා electric car නිෂ්පාදකයන් සහ පාවිච්චි කරන්නන් දිරිගන්වන්න ඕන. අවාසනාවට ලංකාවෙ නම් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහොමත් නුදුරු අනාගතයේ ෆොසිල ඉන්ධන වාහන නිෂ්පාදනය කිරීම නතරවෙන නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හැබැයි ඉතින් වාහනේ විදුලියට මාරුවුණාට වැඩක් නෑ විදුලිය නිෂ්පාදනය කෙරෙන්නෙ ඩීසල්, ගල්අඟුරු පුච්චල නම්. විකල්පය තමයි මහා පරිමාණ විදුලි අවශ්‍යතා සඳහා ශුන්‍ය විමෝචක න්‍යෂ්ටික බලාගාර යොදාගැනීමත් ඒ හා සමගාමීව සූර්ය, සුළං බලාගාර හරහා අවශ්‍ය අනෙක් විදුලිය ලබාගැනීමත්..



(මෙච්චර අව්ව තියෙන රටක ඇයි solar වලින් විතරක් විදුලිය හදන්න බැරි කියන එක වෙන දවසක වෙනම ලිපියකින් කතා කරමු. ඒක දිග සහ ටිකක් සංකීර්ණ මාතෘකාවක්)



2. කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන දේවල් වැඩි කිරීම/ ආරක්ෂා කිරීම

ඒ කියන්නෙ ගස් වැවීම. ගස් වැව්වම වාතය සිසිල් වෙනවා, භූගත ජල ස්ථරය (waterbed) ඉහළ එනවා, ජල චක්‍රය ශක්තිමත් වෙනවා, වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවෙනවා.. ඔය වගේ වාසි තියෙනවා. හැබැයි මේක විතරක් කරාට එච්චර effective නෑ. හේතුව තමයි අපි හුස්මගන්න ඔක්සිජන් වලින් 60%ක් විතරයි එන්නෙ ගොඩබිම තියෙන ගස් වලින් නෙමෙයි..


මුහුදෙන්!


ඔව් මුහුදෙන් තමයි. මුහුදු ප්ලවාංග (Marine Phytoplankton) වලින්. මොන හේතුවකටද මන්දා මේක හරි අප්‍රසිද්ධ කතාවක්. හරියටම ගණන් බලල නැතත් දළ වශයෙන් ඔක්සිජන් වලින් 58% - 70% ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නෙ මේ මුහුදු ප්ලවාංග. ඒ කියන්නෙ එයාලා තමයි වැඩිපුරම කාබන්ඩයොක්සයිඩ් උරාගන්නෙත්. හැබැයි එයාලටත් දැන් ලොකු තර්ජනයක් ඇවිත්.



වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මුහුදෙ වතුරත් එක්ක දියවෙනවා. සාමාන්‍ය තත්වය යටතේ නම් මේ කාබන්ඩයොක්සයිඩ් ටික කැල්සියම් එක්ක එකතු කරල සොබාදහම  අපූරු නිර්මාණ කරනවා. බෙල්ලන්ගෙ කටුව, කොරල්පර එහෙම මේ නිර්මාණ වලට උදාහරණ..

හැබැයි මේ වගේ දරාගන්න බැරි අසාමාන්‍ය ප්‍රතිශතයකින් කාබන්ඩයොක්සයිඩ් දියවෙන්න ගත්තම මුහුදු ජලය ආම්ලික වෙනවා. ඔන්න දැන් ප්‍රශ්නයක්. අර සතුන්ගෙ කටු දියවෙනවා, කොරල්පර දියවෙනවා, මුහුදු ජීවීන්ගෙ පැවැත්ම අවිනිශ්චිත වෙනවා, ඒ විතරක් නෙමෙයි අපිව ජීවත් කරවන්න තොග ගානට කාබන්ඩයොක්සයිඩ් උරාගන්න අර අහිංසක මුහුදු ප්ලවාංග ටිකත් විනාශ වෙලා යනවා. එදාට හුස්මගන්න ක්‍රමයක් සමුද්‍ර දූෂණයට මූලිකවම වගකියන්න ඕන රටවල් කිහිපයෙන් එකක සාඩම්බර පුරවැසියො හැටියට අපිට දැන් ඉඳලම කල්පනා කරන්න වෙයි..


පරිසරය රැකගත්තොත් අපිත් රැකෙයි. වපුරන හැටියට තමයි අස්වැන්න ලැබෙන්නෙ. ඔය ඕස්ට්‍රේලියාවට ලැබුණෙ මුළු ලෝකෙම මිනිස්සු කරපු විනාශයේ ප්‍රතිඵල. අපිට සොබාදහම මිසක් සොබාදහමට අපිව එච්චර වැඩක් නෑ. සොබාදහමෙ දරාගැනීමේ සීමාව පැන්නම මුළු මනුෂ්‍ය සංහතියම පෘථිවියෙන් තුරන් කරල හැමදේම අළුතින් පටන්ගන්න එයා තීරණය කරයි. එදාට අපි පරක්කු වැඩියි.. සමහරවිට දැනටමත්..

- රෙහාන් මෙන්ඩිස් 


(ඡායාරූප අන්තර්ජාලයෙන්..)

Comments

  1. කියවන්න ආස හිතෙන්න ලියලා තියෙනවා

    ReplyDelete
  2. ඔබගේ ලිපියේ අවසාන කොටස දැන් සිදුවෙමින් පවතියි. අද දිනය 11 අප්‍රියෙල් 2020.
    විශිෂ්ඨයි. තව තවත් ලියන්න

    quantum physics ගැන දැනගැනීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!
      Quantum physics කියන්නෙ අඅතිශයින්ම පුළුල් විෂය පරාසයක්. නමුත් එහි කුඩා කුඩා කොටස් මේ බ්ලොග් අඩවිය ඔස්සේ වරින් වර දකින්න ලැබෙයි. උදාහරණයක් හැටියට "ආලෝක වර්තනය" ගැන පළකල ලිපිය පවා අයත් වන්නේ quantum physics විෂය පරාසය තුලටයි.

      Delete

Post a Comment

Popular posts from this blog

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි

හීන ලෝකය

සාපේක්ෂතාවාදය 1 | ස්කන්ධය හා වේගය

මනසින් වැඩ ගැනීම

නිකොලා ටෙස්ලා

මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

හෙම්බිරිස්සාව සහ ඇමොක්සිලින්

සාපේක්ෂතාවාදය 2 | කාල තරණය

සාපේක්ෂතාවාදය 3 | ගුරුත්වය